මීපේ තවත් උමා ඔයක් ද?

මීපේ තවත් උමා ඔයක් ද?

August 21, 2017   03:59 pm

නීති විරෝධි ලෙස බලපත්‍ර ලබා දීමෙන් පවත්වා ගෙන යනු ලබන ගල්කොරි 16 ක් හේතුවෙන් පාදුක්ක මීපේ ප්‍රදේශයේ ජනතාව දැඩි පාරිසරික හානියකට මුහුණ දී ඇතැයි සීතාවක පරිසරය සුරැකීමේ සංගමය පවසයි.

පාදුක්ක ප්‍රාදේශීය සභාවට අයත් මීපේ ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 5කට මැදිව පිහිටා ඇති නුරාන කඳුපන්තිය ආශ්‍රිතව සිදු කරනු ලබන මෙම ගල් කැඩීම හේතුවෙන් මේ වන විට කඳු පන්තියෙන් භාගයක් පමණ විනාශ වී ඇතැයි එම සංගමයේ සමාජික ඉන්දික වික්‍රමසිංහ මහතා කියා සිටියේය.
 
පසුගිය වසර 4 ක පමණ සිදු වන මෙම මහා පරිමාණ පාරිසරික හානිය සිදුවන බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් මෙම කඳු පන්තියේ ජල පෝෂක ප්‍රදේශයේ අවට ජීවත් වෙන ජනතාවට අද වන විට දිය පහරවල් සිඳී යාමෙන් පානිය ජල අර්බුදයකට මුහුණ දීමට සිදුව තිබේ.

එමෙන්ම ජලයට රසායනික ද්‍රව්‍ය එක්වීමෙන් එහි PH අගය වෙනස් වී ඇති බව ද වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

උදෑසන සිට ක්‍රියාත්මක වන ගල් කැඩීමේ යන්ත්‍ර හේතුවෙන් දැඩි ඝෝෂාකාරි බවක් පවතින බවත් කඳු වැටිය හරහා හඹා එන සුළඟ මඟින් ගල් කුඩු මුසු වීමෙන් අවට ප්‍රදේශයේ ජනතාවට මේ වන විට ස්වසන ආබාධ ඇතිව තිබෙන බව ද ඔහු තව දුරටත් කියා සිටියේය.

වර්ග කිලෝමීටර තුන හමාරක පමණ ප්‍රදේශයක් පුරා මෙම ගල් කොරි 16 පැතිර ඇති අතර පසුගිය මාර්තු මාසයේ පාරිසරික සංවිධානවල මැදිහත් වීමෙන් සිදු කරනු ලැබූ විරෝධතා හේතුවෙන් අදාළ බලපත්‍ර තහනම් කිරීමට පියවර ගනු ලැබූව ද අද වන විට එයට නැවත බලපත්‍ර හිමි වීම තුළින් මෙම කඳු පන්තිය ආශ්‍රත ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව තිබේ.

ගල් වෙඩි දැමීම හේතුවෙන් පුපුරා ගොස් ඇති පස් තට්ටු මතට ජලය වැටීමෙන් වර්ෂා කාලයේ දී නායයෑම් තත්ත්වයක් පවතින බවත් මේ වන විට ඔවුන්ගේ ජීවිත අවධානම් තත්ත්වයකට පත්ව ඇති බවත් වික්‍රමසිංහ මහතා පවසයි.

මෙම ගල් කොරි සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ දී කිසිදු පූර්ණ නිගමනයන්ට එළඹ නොමැති අතර මෙම බලපත්‍ර භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ අනුමැතිය මත ලබා දී ඇති බවත් මෙපමණ පාරිසරික හානියක් සිදුවන විටත් මෙවැනි තීරණයන්ට එළඹීම පිළිබඳ බලධාරීන් නිසි ක්‍රියාමාර්ග ගත යුතු බවත් ඉන්දික වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ද ලිපියක් යොමු කර ඇති අතර එයට ප්‍රමාණවත් පිළිතුරක් නොලැබුණ බවත්, සිදුවන විනාශ නවතා නිදහසේ ජිවත් විය හැකි වටපිටාවක් ඇති කර දෙන ලෙසත්, අදාළ බලධාරීන්ගෙන් මොවුන් ඉල්ලීමක් කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාදුක්ක - උතුම්පෙ පූර්වාරාම විහාරාධිපති, පූජ්‍ය මහගම හේමතිලක ස්වාමීන් වහන්සේ පවසා සිටියේ, ගැටළු රැසකට මුහුණ දී සිටින ප්‍රදේශවාසීන් වෙනුවෙන් බලධාරීන් ඉතා ඉක්මනින් නිසි පිළිතුරක් ලබා දිය යුතු බවයි.