ලංකා ගුරු සංගමයෙන් තවත් චෝදනාවක්

ලංකා ගුරු සංගමයෙන් තවත් චෝදනාවක්

August 21, 2017   02:47 pm




කොළඹ ආනන්ද විදුහලේ 1 ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමේදී 22/2017 චක‍්‍රලේඛය උල්ලංඝණය කරමින් ආදි ශිෂ්‍ය සංගම් නියෝජිතයෝ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සිටින බව ලංකා ගුරු සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව පෙන්වා දී තිබේ.

එම නිවේදනය පහත පරිදි වෙයි,

කොළඹ ආනන්ද විදුහලේ 2018 වසරේ 1 ශ්‍රේණිය සඳහා ළමුන් ඇතුළත් කිරීමේ සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇත්තේ ආදි ශිෂ්‍ය සංගම් නියෝජිතයන් ද ඇතුළත්වය. කොළඹ ආනන්ද විදුහලේ වර්තමාන ආදි ශිෂ්‍ය සංගමය ආදි ශිෂ්‍ය සංගම් චක‍්‍රලේඛයට  පටහැනිව පිහිටුවා ඇති ආදි ශිෂ්‍ය සංගමයකි. පාසල්වල ආදි ශිෂ්‍ය සංගම් පිහිටුවීම පිළිබඳ 1961 නොවැම්බර් 20 දිනැති 1961 අංක 27 දරණ චක‍්‍රලේඛයට අනුව නිල බලයෙන් ආදි ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා විය යුත්තේ පාසලේ විදුහල්පතිවරයාය.

එහෙත් කොළඹ ආනන්ද විදුහලේ මේ වන විට කි‍්‍රයාත්මක ආදි ශිෂ්‍ය සංගමයේ විදුහල්පතිවරයා සභාපතිත්වය නොදරයි. ඒ අනුව එම පාසලේ ආදි ශිෂ්‍ය සංගමය නීත්‍යානුකූල නොවන එකකි. 22/2017 චක‍්‍රලේඛ විධිවිධානවලට අනුව එවැනි අවස්ථාවක ආදි ශිෂ්‍ය නියෝජනය රහිතව ආදි ශිෂ්‍ය ගණයේ සම්මුඛ පරීක්ෂණ පැවැත්විය යුතු වුවත් කොළඹ ආනන්ද විදුහලේ ආදි ශිෂ්‍ය ගණයේ සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇත්තේ එම චක‍්‍රලේඛ විධිවිධාන උල්ලංඝණය කරමින් නීත්‍යානුකූල නොවන ආදි ශිෂ්‍ය සංගම් නියෝජිතයන් ද සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට සහභාගි කරවාගෙනය.

2018 වසර සඳහා පාසල්වල 1 ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සඳහා නිකුත් කර ඇති 22/2017 චක‍්‍රලේඛයේ 6.2.2 වගන්තියේ පැහැදිලිව සඳහන් කර ඇත්තේ ‘‘ආදි ශිෂ්‍ය සංගමයේ නියෝජිතයා තෝරා ගැනීමේදී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති ආදි ශිෂ්‍ය සංගම් චක‍්‍රලේඛය අනුව පිහිටුවා ඇති ආදි ශිෂ්‍ය සංගමයේ කාරක සභාවේ එකඟතාවය මත ද නියෝජිතයා පත් කර ගත යුතුය. ආදි ශිෂය සංගම් චක‍්‍රලේඛ විධි විධාන ප‍්‍රකාර ව ආදි ශිෂ්‍ය සංගම් කි‍්‍රයාත්මක නොවන අවස්ථාවන්හිදී එම චක‍්‍රලේඛ ප‍්‍රකාරව ආදි ශිෂ්‍ය සංගම් පිහිටුවා ආදළ නියෝජිතයා පත් කර ගැනීමට හෝ එසේ පිහිටුවීමට අපොහොසත් වන අවස්ථාවන්හි දී ආදි ශිෂ්‍ය නියෝජනය රහිතව අනිකුත් සාමාජිකයන්ගෙන් සමන්විත සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් මඟින් එම ගණයේ සම්මුඛ පරීක්ෂණ ද පැවැත්විය යුතුය’’ යනුවෙනි.

කොළඹ ආනන්ද විදුහල මෙන්ම තවත් ප‍්‍රධාන පෙළේ පාසල් 5 ක ආදි ශිෂ්‍ය සංගම් පිහිටුවා ඇත්තේ ආදි ශිෂ්‍ය සංගම් පිහිටුවීමේ ඉහත චක‍්‍රලේඛයට පටහැනිවය.

මේ තත්වය තුළ කොළඹ ආනන්ද විදුහලේ ආදි ශිෂ්‍ය ගණයේ සම්මුඛ පරීක්ෂණ නීත්‍යානුකූල නොවන බැවින් එම සම්මුඛ පරීක්ෂණ අත්හිටුවා 22/2017 චක‍්‍රලේඛය ප‍්‍රකාරව නැවත විධිමත් ලෙස පැවැත්වීමටත්, රටේ ප‍්‍රභල දේශපාලනඥයන්ගේ මැදිහත්වීම මත චක‍්‍රලේඛ උල්ලංඝණය කර කොළඹ ආනන්ද විදුහලේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමට කටයුතු යොදන ලෙසත් ලංකා ගුරු සංගමය ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටී.

මෙයට,
ජෝසප් ස්ටාලින්
ප‍්‍රධාන ලේකම්