විගණන පනත වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි

විගණන පනත වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි

August 21, 2017   01:34 pm

ජාතික විගණන පනත වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රි ලංකා ආයතනය ඉල්ලීමක් කරයි.

රාජ්‍ය ආයතනවලට සිදුකරන අලාබ එම අලාබය සිදු කරන පුද්ගලයින්ගෙන්ම අය කිරීමට විගණකාධිපතිට ජාතික විගණක පනත ඔස්සේ ලබා දීමට යෝජනා කර ඇති බලය ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවට පලවන වාර්තා සම්බන්ධයෙන් ද සිය කනස්සල්ල පළ වන කරන බව ද එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

නීතිපතිවරයා විසින් සහතික කර ඇති ජාතික විගණන පනත් කෙටුම්පතේ ප්‍රධාන වශයෙන් ප්‍රතිපාදන තුනක් අඩංගු වෙන බවත්, රාජ්‍ය ආයතනයකට වංචනිකව, දූෂිතව, සාපරාධි පරිහරණයෙන් හෝ හිතාමතා අලාභ සිදු කරන පුද්ගලයින්ගෙන්ම එම අලාභය අය කිරීමට අධිභාර බලය හිමි වන අතර, රජයේ මුදල් වංචනිකව, අක්‍රමිකව හෝ වැරදි සහගත ලෙස තැන්පත් කර ඇති බවට සැකයක් පවතී නම්, එම සැක සහිත බැංකු ගිණුම් පරික්ෂා කිරීමටද විගණකාධිපතිතුමාට බලය හිමි වනු ඇති බව ද ට්‍රාන්ස්පේරන්සි ආයතනය සඳහන් කරයි. 

තුන්වැනි ප්‍රධාන ප්‍රතිපාදනය වන්නේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය රැකෙන ස්වාධීන අයවැය සකස් කිරීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වීම වුවත් මේ ප්‍රතිපාදන තුන තුළින්, යම් දුරකට පොදු විගණනය පිළිබඳ වූ ජාත්‍යන්තර ප්‍රමිතීන් ස්ථාපනය කෙරුණු ලීමා මාර්ගෝපදෙෂණයන් පිළිපැද ඇති බව පෙනී යන බව ද ඔවුන් සඳහන් කරයි.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ, අධිභාර බලය මේ පනත තුළින් ලබා දිය යුතු ඇති අතර, අධිභාර අය කිරීමේ ක්‍රියාවලියට සම්බන්ද නීතිය ඉතා පැහැදිලි විය යුතු බවයි.

එමෙන්ම අභියාචනා ක්‍රියාවලිය අපක්ෂපාති විය යුතු අතර, එම ක්‍රියාවලියේදී විගණකාධිපතිට එරෙහිව බැඳීම් අතර ඝට්ටනයන් සම්බන්ධ මුහුණුවරක් තිබිය නොහැකි බව ද ඔහු පවසා ඇත.