එක හොරෙක්වත් ශ්‍රීලනිපයේ නැද්ද?

එක හොරෙක්වත් ශ්‍රීලනිපයේ නැද්ද?

August 21, 2017   07:39 am




ජනවාරි 8 විප්ලවයෙන් පසු බරපතළ වංචා සහ දුෂණ සිදු කළ පසුගිය පාලකයන් සම්බන්ධයෙන් නිසි දඬුවම් ලැබෙනු ඇතැයි මෙරට ප්‍රගතිශීලි ජනතාව බලාපොරොත්තුව සිටි බවත්,  එහෙත් පෙරළියෙන් පසු ගත වූ කාල සීමාව තුළ දුෂණයට එරෙහි රජයේ ක්‍රියාමාර්ග පිළිබඳ ජනතාවගේ විශ්වාසය මේ වනවිට පළුඳු වෙමින් පවතින බවත් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා සඳහන් කළේය.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව පෙන්වා දී තිබේ.

එම නිවේදනය පහත පරිදි වෙයි,

යහපාලන රජය ස්ථාපිත කර මේ වන විට වසර දෙක හමාරක් ගත වී අවසන්. ඉකුත් රජය සමයේ සිදු වූ මහා පරිමාණ වංචා හා දුෂණ සම්බන්ධයෙන් විමර්ශනය කර නඩු කටයුතු සාර්ථකව අවසන් කර දඬුවම් ලබා දීමට රජය තවමත් සමත් වී නැහැ.  එම තත්වය තුළ දුෂණයට එරෙහි රාජ්‍ය ප්‍රතිපත්තිය හෑල්ලුවට ලක් වී ඇති බවක් පෙනෙන්නට තිබෙනවා.  යහපාලන රජය බිහි කිරීමට පෙරමුණ ගත් පාර්ශවයන් විවෘතවම රජයට ඇගිල්ල දිගු කරන තත්වයක් දක්වා එය වර්ධනය වී ඇති බව රහසක් නොවේ. අද වන විට ඇතැමුන් පවසන්නේ හොරු ඇල්ලීමට පැමිණි ආණ්ඩුව හොරුන් විසින් අල්ලාගෙන ඇති බවයි. යහපාලන ආණ්ඩුව පිළිබඳ පරීක්ෂණ පැවැත්වියයුතු බව චෝදනාවන්ට ලක් වූ පිරිස්ම පැවසීම ඊට හොඳම නිදසුනයි. 

මහා බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත් කිරීම යහපාලන මුලධර්මයට එකඟ වීමක් බව අවිවාදිතයි. එම කොමිසම ඉතා වේගයෙන් සිය විමර්ශන කටයුතු සිදු කරන ආකාරයත් නිර්භයව සියලු පාර්ශව වෙත චෝදනා එල්ල කරන ආකාරයත් අප දුටුවා. කොමිසමින් හෙළිවන කරුණු වාර්තා කිරීමට පුළුල් නිදහසක් මාධ්‍යට හිමිව තිබේ. 

ඓතිහාසික පරමාදර්ශයක් සපයමින් යහපාලන රජය විසින් තමන්ගේම පාලන සාමය පිළිබඳ විමර්ශන පැවැත් වීම හැට දෙලක්ෂයේ ජනවරම ආරක්ෂා කිරීමේ සංධිස්ථානයක් වන අතර චෝදනා එල්ල වූ අමාත්‍ය වරුන් ඉල්ලා අස්වීමද මෙරට දේශපාලනයේ නව පරිච්ඡේදයක්. එහෙත් ගැටළුව වී ඇත්තේ පරීක්‍ෂණ, ඒ තුළින් සකස් කරන වාර්තා හෝ ඉල්ලා අස්වීම් වලංගු වන්නේ එක්සත් ජාතික පක්‍ෂයට හෝ එය කේන්ද්‍ර කර ගත් ආණ්ඩුවට පමණක්ද යන වගයි. 

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ කෝප් කමිටුව මඟින් මෙරට රාජ්‍ය ව්‍යුහය තුළ සිදු වූ තවත් මහා පරිමාණ දුෂණ සහ වංචා පිළිබඳ කරුණු අනාවරණය කර තිබෙනවා. ඒ අතර ශ්‍රී ලංකන් එයාර් ලයින් පසුගිය රජය සමයේ වාර්තා කල රුපියල් මිලියන 28000කට වැඩි මෙහෙයුම් අලාභය,  ලංකා විදුලි බල මණ්ඩලය වාර්තා කළ රුපියල් මිලියන 4132ක අලාභය, රක්නා ලංකා සමාගමේ රුපියල් මිලියන 1400ක අවිධිමත් ගනුදෙනු, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ රුපියල් මිලියන 393ක සනාථ කළ නොහැකි ගනු දෙනු, ඖෂධ සංස්ථාව මගින් ඖෂධ මිලදී ගැනීමේදී සිදු වූ රු මිලියන 240කට අධික වංචා වන්ද අදාලයි.  එමෙන්ම කෝප් වාර්තාවෙන් පෙන්වා දී ඇති ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, වරාය අධිකාරිය, මිල්කෝ සමගමේ  ඇතුළු ආයතන රැසකද මුල්‍ය වංචාවන් හි ප්‍රමාණය කොටි දහස් ගණනක්. එපමණක් නොව ආන්දෝලනාත්මක් මිග් යානා ගනුදෙනුව ක්‍රිස් ගනුදෙනුව, ඇවන්ගාර්ඩ් ගනුදෙනුව මෙන්ම , තජුදින් ඝාතන සිද්ධිය ද කෝප් වාර්තා වෙන් මෙපිට දැඩි ලෙස කතා බහට ලක් වෙමින් තිබෙනවා.  එත් ඒ පිළිබඳව කඩිනම් අධිකරණ ක්‍රියා මාර්ග ගෙන චුදිතයන්ට දඬුවම් ලබා දීමට අපොහොසත් වීම ප්‍රභල ගැටළුවක්.  අවම වශයෙන් විමර්ශන අවසන් කර නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කල පැමිණිලි පිලිබඳ නඩු කටයුතු කිරීමට හෝ විශේෂ අධිකරණ ව්‍යුහයක් තුලින් ඒ සඳහා පියවර ගැනීමට නොහැකි වීම සැබවින්ම හැඳින් විය යුත්තේ කුමන නිර්වචනයක් යටතේද යන්න ගැටළු සහගතයි. 

චෝදනා එල්ල වූවන් අද පෙනී සිටින්නේ ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය තුළ ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීම සඳහා වීම තවදුරටත් හාස්‍යයක් නොවන්නේ යැයි ප්‍රකාශ කළ හැකිද? එම ඩබල් ගේම් සංස්කෘතිය ආණ්ඩුව අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණයක නිරත වන්නේ යුක්තිය පසිඳලීමේ මඟද අහුරවමින්.

 පසුගිය සමයේ සිදු වූ වංචා සහ දුෂණ පිළිබඳ පරීක්ෂණ වේගවත් කළයුතු බවට දැඩි බලපෑමක් ආණ්ඩුව අභ්‍යන්තරය තුළින්ම එල්ල වී තිබෙනවා. කෙසේ වෙතත් එම පරීක්‍ෂණ වේගවත් ව සිදු වියයුතු වනවා සේම කිසිඳු ලෙසකින් නීතියට එරෙහිව පළි ගැනීමේ චේතනාවෙන් සිදු නොවිය යුතු බව අවධාරණය කළ යුතුයි.    

ජනවාරි 8 වනදා පිඩිත ජනතාව විසින් දිනා දුන් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහය අතිගරු ජනාධිපතිතුමන් සහ ගරු අග්‍රාමාත්‍යතුමන් ප්‍රමුඛ කර ගත් ප්‍රගතිශීලි බලවේග විසින් ආරක්ෂා කළ යුතු අතර කිසිඳු ලෙස නියමින් හෝ අනියමින් වංචනිකයන් හා දුෂිතයන් සමඟ එකඟතා ඇති කර ගත නොගත යුතුය.

එක්සත් ජාතික පක්ෂය පාලනය කිරීමට හෝ තම පැවැත්ම වෙනුවෙන් යහපාලන මුලධර්මවාදයට එරෙහිව ආණ්ඩුවට රිංගාගත් පිරිසේ ග්‍රහණයට රජය නතු වෙමින් තිබෙන බවත්, එය හොරු ඇල්ලීමට පැමිණි පොලීසියට  හොරුන් විසින් චෝදනා කිරීමක් වැනි සිදු වීමක් බවත් රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පැවසීය. රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පවසන්නේ ආණ්ඩුව යකුන්ගෙන් වැඩ ගතහොත් අනාගතයේදී  යකුන්ටම බිලි වීමේ අවධානමක් ඇති බවයි.

මාධ්‍ය ඒකකය