පැණි බීමවල බදු වැඩි කිරීමේ යෝජනාවලිය සුව ඇමතිට බාරදෙයි

පැණි බීමවල බදු වැඩි කිරීමේ යෝජනාවලිය සුව ඇමතිට බාරදෙයි

August 20, 2017   09:25 pm



පැණි බීම වර්ග සඳහා බදු වැඩි කිරීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සකස් කළ යෝජනාවලිය සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙත බාරදී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත රාසියා පෙන්ඩ්සේ මහත්මිය විසින් පසුගියදා අදාළ වාර්තාව අමාත්‍යවරයා වෙත බාරදුන් බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ ඉල්ලීම මත ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම යෝජනාවලිය සකස් කර ඇති අතර ඉදිරියේදී එම යෝජනාවලිය අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අදාළ යෝජනාවලියෙන් පැණි බීම වර්ග සඳහා බදු අය කිරීමේ විකල්ප ප්‍රතිපත්ති කිහිපයක් හඳුන්වා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන්  කළේය.

 ඒ අනුව මිලිලීටර් සියයේ පැණි බීම බෝතල සඳහා එකතු කරන සීනි ග්‍රෑම් එකක් වෙනුවෙන් රුපියලක නිෂ්පාදන බද්දක් අය කිරීමට ඉන් යෝජනා කර ඇති බව සඳහන්ය.

පැණි බීම පරිභෝජනය හේතුවෙන් සෑම වසරකම රුපියල් බිලියන 28ක මුදලක් විනාශ වන අතර මෙරට ජනගහනයෙන් සියයට 10ක් දියවැඩියා රෝගයෙන් පෙලෙන බව සෞඛ්‍ය  අමාත්‍යංශය පෙන්වා දෙයි.