පුරාවිද්‍යා නිලධාරීන් සියලු දෙනා කොළඹට කැඳවයි

පුරාවිද්‍යා නිලධාරීන් සියලු දෙනා කොළඹට කැඳවයි

August 17, 2017   08:04 am

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සියලූම මාණ්ඩලික නිලධාරීන් කොළඹට කැඳවීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තීරණය කර තිබේ.

පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ පත්ව ඇති ප්‍රමුඛ ගැටලු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එම කැදවීම සිදුකර තිබූ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

සෙත්සිරිපායේ පැවති අදාළ සාකච්ඡාවේදී පුරාවිද්‍යා ස්ථාන ආශ්‍රත ගැටළු, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය විසින් වාර්තා කරන ලද ගැටළු, ක්ෂේත්‍රයේදී නිලධාරීන් මුහුණ දෙන ප්‍රායෝගික ගැටළු පුරාවිද්‍යා  දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා වී තිබේ.

පුරාවිද්‍යා කිෂේත්‍රයේ මතුවන ගැටළු සහ පුරාවස්තු සංහාරයන් පිළිබඳව තොරතුරු ජනතාවට වාර්තා කළ හැකි අයුරින් අංක 04කින් යුතු ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් හඳුන්වාදීම සඳහා පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම පුරාවස්තු ආරක්ෂා කිරීම සඳහා දායකත්වය ලබාදුන් පුද්ගලයින් ධෛර්යමත් කිරීම සඳහා පිහිටවනු ලැබූ පුරාවිද්‍යා තෑගි අරමුදල නැවත සකස් කරන ලෙස ද අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබේ.

පුරාවිද්‍යා උරුමය ආරක්ෂා කිරීම ජාතික වගකීමක් වන බැවින් ඒ සඳහා හැකි උපරිමයෙන් කැපවීම සියලු දෙනාගේම වගකීම බව අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර ඇත.