මහින්ද තමන්ව පරාජයට පත් කළ ජනතාවගෙන් තවමත් පළිගන්නවා
August 17, 2017 07:53 am
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන්ව පරාජයට පත් කළ ජනතාවගෙන් පළිගැනීමේ චේතනාවෙන් තදුරටත් කටයුතු කරමින් සිටින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ හම්බන්තොට වරාය පෞද්ගලිකරණය කරනු ලැබූ ආකාරය නිසා මුළු ජාතියම මහත් තිගැස්මකට ලක් වුණා යැයි ප්‍රකාශයක් නිකුත් කර ඇති මහින්ද රාජපක්ෂ මහතාට ඔහුගේ පාලන කාලය තුළ රටේ සම්පත් සින්නකරව විදේශිකයින්ට විකුණූ ආකාරය අමතක වී ඇති බවයි.
කොළඹ වරායේ එක් පර්යන්තයක් සියයට 85යි සියයට 15යි යන පදනමින් චීනයට බදු දුන් මහින්ද රාජපක්ෂ මහතා හම්බන්තොට වරායද එම පදනමින්ම බදුදීමට 2014 වසරේදී ගිවිසුමකට එලඹ ඇති බවද අමාත්‍යවරයා පවසයි.
එම ගිවිසුම ක්‍රියාත්මක වූයේ නම් ශ්‍රී ලංකා රජය විසින් තවත් ඩොලර් මිලියන 350කට අධික මුදලක් ණය වශයෙන් ගෙවීමට සිදුවන බව මංගල සමරවීර අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
වසර 10ක් පමණ රට පාලනය කර පරාජිත වී විශ්‍රම ගිය ශ්‍රී ලංකාවේ එකම විධායක ජනාධිපතිවරයා වූ රාජපක්ෂ මහතා උරුම කර දුන්නේ ජාති ආගම් වශයෙන් කුලල් කා ගන්නා, ජාතික අසමගියෙන් පිරුණු රටක් බවද මංගල සමරවීර මහතා කියා සිටියේය.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රාජපක්ෂ සමයේ දූෂණ විමර්ශනවල ප්‍රතිඵලයක් වශයෙන් දැනට පවත්නා පරීක්ෂණවලින් පසුව ඔහුගේ පවුලේ සාමාජිකයින්ට හා ළඟම ඥාතීන්ට අයත් නීති විරෝධී ලෙස උපයාගත් රුපියල් කෝටි 500කට අධික වටිනා දේපල අධිකරණය හා රජයේ භාරයේ පවතින බවයි.
“තමන්ගේ හෝ තම පවුලේ කිසිවෙකුත් රුපියලක් හෝ සොරකම් කර තිබේ නම් බඩ කපාගන්නවා“ යැයි වහසි බස් දෙඩූ මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ එම පොරොන්දුව හිතාමතා අමතක කර තිබීම හාස්‍යජනක බව මංගල සමරවීර මහතා පවසයි.
ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ ගොතන ලද මුසාවන් පතුරුවන අතරතුර රාජ්‍ය සම්පත් පෞද්ගලීකරණය කරනවා, විදේශිකයින්ට රාජ්‍ය සම්පත් විකුණනවා යැයි පවසමින් ජනතාව උසිගැන්වීමේ පන්සල් දේශපාලනයේ නිරතවෙමින් මහින්ද රාජපක්ෂ මහතා රටටත් ජනතාවටත් විශාල ද්‍රෝහිකමක් සිදුකරමින් සිටින බව අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.