මත්තලට අමෙරිකානු ඩොලර් මිලියන 205ක් ආයෝජනය කරන්න ඉන්දියාව සූදානම්!

මත්තලට අමෙරිකානු ඩොලර් මිලියන 205ක් ආයෝජනය කරන්න ඉන්දියාව සූදානම්!

August 12, 2017   03:13 pm




මත්තල ගුවන් තොටුපොළ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 205ක් මුදලක් ආයෝජනය කිරීම සඳහා වන ඉන්දීය රජයේ යෝජනාව මේ වන විට ශ්‍රී ලංකා රජය වෙත ලබාදී ඇති බව ද හින්දු පුවත්පත වාර්තා කරයි.

ශ්‍රී ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වන මත්තල ගුවන් තොටුපොළ මෙහෙයවීම, කළමනාකරණය, නඩත්තුව සහ සංවර්ධනය සඳහා ඉන්දියාව ඉදිරිපත් වී සිටින බව හින්දු පුවත්පත වාර්තා කර තිබේ.

චීනය විසින් වැඩි  හිමිකාරීත්වයක් හිමිකරගෙන ඇති හම්බන්තොට වරායට කිලෝමීටර් 40ක දුරින් පිහිටි මත්තල ගුවන් තොටුපළේ ආයෝජනයට ඉන්දියාව ඉදිරිපත්වීම ක්‍රමෝපාය පියවරක් ලෙස ද හින්දු පුවත්පත පෙන්වා දී තිබේ.

එම යෝජනාව මඟින් ඉන්දියාව පවසා ඇත්තේ ගුවන් තොටුපළේ 70% හිමිකාරත්වයක් වසර 40ක කාලයක් සඳහා ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි.

එමෙන්ම ඒ සඳහා ශ්‍රී ලංකා රජය විසින් ඩොලර් මිලියන 88ක මුදලක් ආයෝජනය කරනු ඇතැයි ඉන්දියාව අපේක්ෂා කරන බවද සඳහන්ය.

ඉන්දියාවේ මෙම  යෝජනාව සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අදාළව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවද හින්දු පුවත්පත වාර්තා කරයි.

මේ අතර හම්බන්තොට ගුවන්තොටුපොළ රාජ්‍ය හා පෞද්ගලික හවුල් ව්‍යාපාරික බවට පත් කිරීමට ඉන්දියානු රජයෙන් ලැබුණු යෝජනාව අධීක්ෂණය කිරීමට ද කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු ව ඇති බව සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පසුගිය දා පැවසීය.

ඒ අනුව මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතය.

මෙම ගුවන්තොටුපොළ රාජ්‍ය-පෞද්ගලික හවුල් ව්‍යාපාර ආකෘතිය යටතේ ඉහළ ආදායම් ලබන ගුවන්තොටුපළක් බවට පත් කිරීමේ අරමුණින් එම ගුවන්තොටුපළෙහි ගුවන් සේවා හා සම්බන්ධ ව්‍යාපාර සඳහා ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවනු ලැබ තිබේ.

නමුත් ගුවන්තොටුපළෙහි සමස්ත මෙහෙයුම්, කළමනාකරණය හා නඩත්තුව ආවරණය වන යෝජනා කිසිවක් එහිදී ඉදිරිපත් වී නොමැති බව සඳහන්ය.
 
මේ අතර මත්තලල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි වාණිජ ගුවන් සේවාල ගුවන් යානා නඩත්තුවල අලුත්වැඩියාවල පියාසර පාසල් පමණක් නොව එහි මෙහෙයුම්, කළමනාකරණය, නඩත්තුව හා සංවර්ධනය යන අංශ කෙරෙහිද අවධානය යොමු කරමින් හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීම පිණිස ඉන්දියානු රජය විසින් යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබ ඇති අතර එම යෝජනා සම්බන්ධයෙන් වැඩිදුරටත් අධ්‍යයනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ,අමාත්‍යාංශ ලේකම්වරුන්‍ කිහිපදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.