ලතීප් තනතුරෙන් ඉවත් කරන්න කොමිසම නිර්දේශ කළේ නෑ

ලතීප් තනතුරෙන් ඉවත් කරන්න කොමිසම නිර්දේශ කළේ නෑ

August 12, 2017   11:31 am



පොලිස් විශේෂ කාර්යය බලකාය බාර අණදෙන නිලධාරී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය  පොලිස්පති එම්.ආර් ලතීප් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට කොමිසම නිර්දේශ නොකළ බව ජාතික පොලිස්  කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා පවසයි.

අණදෙන නිලධාරීවරයා එම තනතුරෙන් ඉවත් කිරීමේ කිසිඳු අභිලාශයක් නොමැති බව ද ඔහු සඳහන් කළේය.

පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙන නිලධාරී ධූරය දැරිය යුතු වන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු බව එම කොමිසම සඳහන් කළේය.

එහෙත් එම්.ආර් ලතීප් මහතා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන අතර එම නිසා යම් අවස්ථාවලදී ගැටළුකාරී තත්ත්වයන් මතු වන බව පොලිස්  කොමිසම සඳහන් කරයි.

ඒ  අනුව මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින් තම කොමිසම විසින් පොලිස්පතිවරයාට උපදෙස් දෙනු ලැබුවේ අණදෙන නිලධාරී නතතුරේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට රාජකාරි කළ හැකි තත්ත්වයට පත් කරන ලෙස බව ආරියදාස කුරේ මහතා සඳහන් කළේය.

ඒ සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය  ලබා ගන්නා ලෙස ද පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන් බව ලේකම්වරයා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් පසුගිය දිනවල පළ වූ ඇතැම් මාධ්‍ය වාර්තා අසත්‍ය බව ද  ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා අද දෙරණට පවසා සිටියේය.