නව ක්‍රමවේදය යටතේ බැඳුම්කර නිකුත් කිරීම හෙට

නව ක්‍රමවේදය යටතේ බැඳුම්කර නිකුත් කිරීම හෙට

July 26, 2017   04:33 pm

නව ක්‍රමවේදය යටතේ බැඳුම්කර නිකුත් කිරීම හෙට (27) සිට සිදු කෙරෙන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාරත්මේන්තුවේ පැවති බැඳුම්කර නිකුත් කිරීමේ නව ක්‍රමවේදය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

නව ක්‍රමවේදය අනුව බැඳුම්කර නිකුත් කිරීම 100%ක් ම විනිවිදභාවයෙන් යුතුව සිදුකරනු ලබයි.

මීට පෙර බැඳුම්කර ලබාගැනීම සම්බන්ධයෙන් විනිවිද භාවයක් නොතිබුණු අතර එහිදී 10%, 15% ,20% බැදුම්කර වෙන්දේසි මඟින් ලබාගත් අතර ඉතුරු 90%,85%,80% සෘජු දීමනා හරහා ලබාගත් බවත් නව ක්‍රමය ඔස්සේ බැඳුම්කර ලබාගැනීම සම්පූර්ණ වෙන්දේසි ක්‍රමයක් ඔස්සේ සිදු කෙරෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

නව ක්‍රමය යටතේ මසකට එක්වරක් බැඳුම්කර වෙන්දේසි පැවැත්වීම, කාණ්ඩ දෙකක් පමණක් ඉදිරිපත් කිරීම, සෑම මසක 15 වැනිදා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සිදු වන බව ද ඒ මහතා සඳහන් කළේය.

තරගකාරී වෙන්දේසිය, තරගකාරී නොවන වෙන්දේසිය සහ අනිවාර්ය පැවරීම යානාදී වශයෙන් බැදුම්කර වෙන්දේසිය අදියර 3ක් යටතේ සිදු වන බවත් මෙහිදී අනිවාර්ය පැවරීම ඉතා කලාතුරකින් සිදු වන්නක් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

පොළී අනුපාතය යම්කිසි ආකාරයකින් කළමනාකරණය කළ හැකිවීම මෙහි ප්‍රධාන වාසියක් ලෙස ද අමාත්‍යවරයා සඳහන් කළේය.