සුව ඇමතිගෙන් නියෝගයක්

සුව ඇමතිගෙන් නියෝගයක්

July 24, 2017   09:32 pm



ස්ථාන මාරුවීම් නියෝග මත සිටින සියලුම හෙද නිලධාරීන් ලබන අගෝස්තු මස 01 දාට ප්‍රථම මුදාහරින ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (හෙද පාලන) එල්.බී.එම් රහුමාන් මහතා වෙත  නියෝග කර තිබේ.

මෙම මුදාහැරීමේ කටයුතු මැයි මස 01 දා සිට සිදු කරන ලෙස මීට පෙර නියෝග කළ ද එය විධිමත්ව සිදූ නොවී ඇති බැවින් මෙම තීරණය ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

එලෙස කටයුතු නොකරන සියලුම රෝහල් අධ්‍යක්ෂවරුන්ට විරුද්ධව විනයානුකූල පියවර ගන්නා ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දී තිබේ.

අගොස්තු මස 01 දින වනවිට ස්ථාන මාරුවීම් නියෝග ලැබූ සියලුම හෙද නිලධාරීන් නව ස්ථානයට වාර්තා නොකළ හොත් රැකියා අහිමිවීමේ අවධානමක් ද මතුවන බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

පළාත් සෞඛ්‍ය අමාත්‍ය සමුලුව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ දී අද(24) පෙරවරුවේ පැවැති අතර එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම නියෝගය නිකුත් කළේය.

වතු රෝහල් සංවර්ධනය කිරීම, දිවයින පුරා සියලුම රෝහල්වල පල්දෝරු පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම, සෞඛ්‍ය ආයතනවල අනුමත තනතුරු සංඛ්‍යාව වැඩිකර ගැනීම, පළාත් ආයුර්වේද රෝහල් සඳහා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී තනතුරේ පුරප්පාඩු සඳහා බඳවා ගැනීම ඇතුළු සියලුම පළාත් සභාවල සෞඛ්‍ය සේවාව මුහුණ දී ඇති ගැටළු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණි.

බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි අක්කර 513 ක විශාලත්වයෙන් යුත් රොස්බෙරිවත්ත ඔසු උයන සංවර්ධනය කිරීම පිළිබදව ද මෙහිදී සාකචිඡා කළ අතර, එහි වන අලින් සැරිසරන බැවින් ඊට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවසර නොදෙන බව මෙහිදී අනාවරණය වුණි.

පසුගියදා පැවැති ගංවතුරෙන් හානියට පත් කලවාන සහ අයගම රෝහල් සංවර්ධනය කිරීම පිළිබදව ද මෙහිදී සාකච්ඡා විය.

මධ්‍යම රජයේ සහ පළාත් සභා රෝහල් සඳහා ගිලන් රථ සහ කැබි රථ ලබාදෙන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළ අතර නැගෙනහිර පළාත් සභාවේ සෞඛ්‍ය සේවා ගැටළු සාකච්ඡා කිරීමේ දී ඉදිරිපත් වූ පැමිණිලි මත කල්මුණේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වහාම ඉවත් කරන ලෙසත්, ඒ වෙනුවට වැඩබැලීම සඳහා නියෝජ්‍ය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පත් කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාට නියෝග කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් මානව සම්පත් ඒකකයක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම රැස්වීමේ දී අනාවරණ කළේය.