ශ්‍රීලනිපය ප්‍රජාතන්ත්‍රවාදය උපරිමයෙන්  ආරක්ෂා කරන පක්ෂයක්

ශ්‍රීලනිපය ප්‍රජාතන්ත්‍රවාදය උපරිමයෙන් ආරක්ෂා කරන පක්ෂයක්

July 24, 2017   09:11 pm




ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු ප්‍රජාතන්ත්‍රවාදය උපරිමයෙන්  ආරක්ෂා කරන පක්ෂයක් බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා  මහතා පවසයි.

ශ්‍රී ලංකා තරුණ මුස්ලිම් සම්මේලනයේ  67 වන වාර්ෂක සමුළුවට සහභාගී වෙමින් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා මෙම අදහස් පළ කළේය.

 එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“ ශ්‍රීලනිපය කියන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය උපරිමයෙන් ආරක්ෂා කරන පක්ෂයක්. කවදාවත් නීතියට පටහැනිව ඡන්දය කල් දැමීමක් කරන්නෙ නෑ. මේ පිළිබඳව අවබෝධයක් නොමැති පිරිස්  මොන දේ කිව්වත් පාර්ලිමේන්තුව විසින් අවශ්‍ය පනත් සම්මත වූ වහාම රජය ඡන්දය පවත්වනවා. මේක අපි එකිනෙකා ජනප්‍රිය වෙන්න මාතෘකාවක් නොවෙයි. ජනතාවාදී  දේශපාලඥයන් මේවගේ මාතෘකාවක් තමන්ගේ දේශපාලන වේදිකාවට ගේන්නෙ නෑ. නමුත් මම වගකීමෙන් කියනවා රජය කිසිම දවසක ජනතා පරමාධිපත්‍ය බලය අවතක්සේරු කරන්නෙ නෑ. නියමිත  පරිදි ඡන්දය පවත්වන්න කටයුතු කරනවා .”

“අද මාධ්‍යයෙන් වුවත් සමහර දේශපාලඥයින්ගෙන් වුවත් බැනුම් අහන්නෙ අපි දෙන්නා. මැතිවරණ කොමසාරිස්තුමයි මමයි. අපි දෙන්නා එකතුවෙලා පළාත් පාලන ඡන්දය කල්දමනවා කියලා. ඒත් එහෙම දෙයක් නෑ.  පාර්ලිමේන්තුව තුළ  සිදුවන කටයුතු ඉවර වුණු වහාම  ඡන්දය පවත්වන්න රජය කටයුතු කරනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදයට ඉතාම හොදින් ගරු කරන කෙනෙක්. එතුමා කිසි දවසක  ජනතාවගේ පරමාධිපත්‍ය බලය හෑල්ලුවට ලක්කරන්නේ නෑ. එවැනි දේකට ඉඩ දෙන්නෙ නෑ. කියලා වගකීමෙන් කියනවා. ”