ගමේ මිනිසුන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එන්නවත් සල්ලි නෑ

ගමේ මිනිසුන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එන්නවත් සල්ලි නෑ

July 23, 2017   07:17 am




ලිපි ගොනුවලින් හැමදේම නොකර  ඉක්මනින් ජනතාව වෙනුවෙන් අවශ්‍ය   සේවාව ලබාදිය හැකිනම් එය රාජ්‍ය  සේවයේ වැදගත්ම ලක්ෂණය බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු  මහතා පවසයි.

අරලිය ගහ මන්දිරයේ දී රජයේ උසස් නිලධාරීන් අමතමින් ඔහු කියා සිටියේ එමගින් වැඩි සේවයක් ජනතාවට සපයමින් ජනතාව හා රජය අතර ඇති පරතරය අඩුකිරීමට හැකියාව ලැබෙන බවයි.

‘‘නිල මෙහෙවර ජනපති ජනතා සේවය“ වැඩසටහනේ  ඉදිරි කටයුතු පිළිබඳ අමාත්‍යංශ ලේකම්වරු ඇතුළු රජයේ මාණ්ඩලික නිලධාරීන් දැනුම්වත් කිරීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් මෙම රැස්වීම සංවිධානය කර තිබුණි.

එහි දී අදහස් දැක්වූ ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් මෙසේ ද කියා සිටියේය,

‘‘අද දිසාපතිගේ සිට සියලුම නිලධාරීන්ට පරිගණක ඇතුළු නවීන යන්ත්‍ර සූත්‍ර  තිබුණත් මා දිසාපතිවරයකු ලෙස සිටි මීට අවුරුදු 40ට පමණ පෙර කාලයේ මේ කිසිම දෙයක් තිබුණේ නැහැ. නමුත් අපි අද කරන වැඩ එදත් කළා. එදා මා දිසාපතිවරයකු ලෙස කටයුතු කරන කාලයේ අද මෙතැන සිටින අය ඉන්න ඇත්තේ පාසලක පහේ හයේ පන්තිවල. අපි පරිගණක ගැන අහලා තිබුණේවත් නැහැ. ඒ කාලේ රණසිංහ ප්‍රේමදාස  ජනාධිපතිතුමාත් මේ වගේ වැඩ කළා. අදත් එවැනි දේ කරන්න සිදුවෙලා තියෙනවා. අනාගතයේ දී මේ සේවා තවත් වැඩිදියුණු විය යුතුයි.

නිල මෙහෙවර ජනපති ජනතා සේවය නමින් මේ කරගෙන යන කාර්යයේ දී රාජ්‍ය  නිලධාරීන්ට ඉතා විශාල මෙහෙවරක් සිදු කිරීමට වෙනවා. සෑහෙන කැපවීමක් කළ යුතුයි. ඇතැම් දිස්ත්‍රික්ක  තියෙනවා ගැමියන්ට තමන්ගේ අවශ්‍යතා  වෙනුවෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එන්නත් අමාරුයි. ඔවුන්ගේ ආර්ථික ප්‍රශ්ණ  ඒ සඳහා බලපානවා. නිලධාරීන් සමග සංයමයෙන් යුතු සහසම්බන්ධතාවක් ගොඩනගා ගැනීමේ දුෂ්කරතාව වැනි ප්‍රශ්ණ  රාශියක් තියෙනවා. 

1987 වර්ෂයේ දී පළාත් සභා පනත ගෙන ආ අවස්ථාවේ යම් වාසියක් ඔවුන්ට අත් වුණත් තවමත් නොවිසදුණු ප්‍රශ්ණ  රැසක් ඉතිරිව තිබෙනවා. ඇතැම් අවස්ථාවල දී දිසාපතිවරුන්ට මේ ප්‍රශ්ණ  අමතක වෙලා යනවා. ඒවා විසඳන්න යම් ක්‍රියාවලියක අවශ්‍යතාව  තිබෙනවා. මේ නිල මෙහෙවර ජනපති ජනතා සේවය ඊට ඉතාමත්ම හොඳ පිළියමක් වේවි.කොපමණ බාධක තිබුණත් තමන්ට වැඩ කළ හැකි බව පසුගිය ආපදා අවස්ථාවේ දී දිසාපතිතුමන්ලා, ප්‍රාදේශීය  ලේකම් තුමන්ලා ඇතුළු රාජ්‍ය   නිලධාරීන් විසින් සනාථ කර පෙන්නුවා."


මෙහි දී අදහස් දැක්වූ ස්වදේශ කටයුතු අමාත්‍ය  වජිර අබේවර්ධන මහතා මෙසේ සඳහන් කළා.

“අපි පොළොන්නරුවේ සහ ගාල්ලේ නිල මෙහෙවර වැඩසටහන් පැවැත්වීමෙන් පසු  තවත්  හතරක නිල මෙහෙවර ආරම්භ කළා. 

ඇතැම් ප්‍රාදේශීය  ලේකම් කාර්යාලවල භූමි ප්‍රදේශය  විශාලයි. නමුත් පවුල් සංඛ්‍යාව සහ ජනගහනය ඉතාමත් අඩුයි. මේ ඇතැම් ගම්මානවලට කිසිම රාජ්‍ය නිලධාරියකු ගතවූ අවුරුදු 40ක කාලයේ දී ගිහින් නැහැ. ඇතැම් මාර්ගවල තවමත් යාමට නොහැකියි. නිල මෙහෙවර පැවැත්වෙන එක්තරා රැස්වීමක දී මා එතැන සිටි අයගෙන් ඇහුවා යුද්ධය නිසා කිසිවෙකුත් මිය නොගිය පවුලක සාමාජිකයකු සිටිනවානම් අත් ඔසවන්න කියා.

කියන්නත් කණගාටුයි කිසිම කෙනෙක් ඉදිරිපත් වුණේ නැහැ. ඒ කියන්නේ සෑම පවුලකම එක් අයෙක් හෝ මිය ගිහින්. මා ඒ වෙලාවේ විහිලුවට වගේ කිව්වා ඒ වුණාට හැමෝටම තුවක්කුවකින් වෙඩි තියන්න පුළුවන් නේ ද කියා. එය කිසිවෙකු ප්‍රතික්ෂේප  කළේ නැහැ. මේ ජනතාවටත් ප්‍රශ්ණ  තිබෙනවා. ඔවුන්ගේ ප්‍රශ්න  අපි කඩිනමින් විසඳිය යුතුයි. "