අලුත් දේශීය ආදායම් පනතෙන් පුණ්‍යාතනවලටත් සියයට 14ක බද්දක්

අලුත් දේශීය ආදායම් පනතෙන් පුණ්‍යාතනවලටත් සියයට 14ක බද්දක්

July 17, 2017   07:28 pm


නව බදු පනත මගින් පුණ්‍යාතනවලට 14% බද්දක් පැනවීමට යෝජනා කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

නව දේශීය ආදායම් පනත සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා අද දහවල් අස්ගිරි මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමි බැහැදැකීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් බන්දුල ගුණවර්ධන මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

2006 අංක 10 දරණ දේශීය ආදායම් පනතේ 3වන පරිච්ඡේදයෙන් පුණ්‍ය ආයතන, කලාකරුවන්, සාහිත්‍යකරුවන්, සුළු හා මධ්‍යම පරිමාණ දේශීය ව්‍යාපාරිකයින් බද්දෙන් නිදහස් කර තිබුණු බවත්, නමුත් නව බදු සංශෝධන පනත මගින් එම පරිච්ඡේදය ඉවත් කර ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

සිද්ධස්ථානවල, පුණ්‍යාතනවල ඉතිරි කිරීම් ගිණුමකට අදාළව පැවති බදු සහන පවා ඉවත් කිරීම ඉතා කනගාටුදායක තත්ත්වයක් බව හෙතෙම අවධාරණය කළේය.

ඒ අනුව රටේ සංස්කෘතික ආයතන, පුණ්‍යායතන වැනි දිරි ගැන්විය යුතු අංශ අධෛර්යමත් කරමින් මුළුමනින්ම බදු අය කිරීමට යාමෙන් රටේ සංස්කෘතිය, සදාචාරය පරිහාණිය කරා ගමන් කරවමින් සිටින බව ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.