ඉවසීමේ සීමාව ගැන වාසු කියයි

ඉවසීමේ සීමාව ගැන වාසු කියයි

July 17, 2017   04:32 pm

පළාත් පාලන මැතිවරණය නොයෙක් හේතු පවසමින් රජය කල් දමමින් සිටින අතර එය ඉවසා ගැනීමේ සීමාවක් පවතින බව ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. 

අද(17) පැවති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

පසුගිය දා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මැඳුරේ පැවති පක්ෂ නායක හමුවීමට ඒකාබද්ධ විපක්ෂය හා තමා සහභාගී නොවු බවත් එසේ සහභාගී නොවුයේ පළාත් පාලන මැතිවරණ කල් දැමීමේ අරමුණින් එම සාකච්ඡා පැවති නිසා බව ද වාසුදේව මහතා මෙහිදී කියා සිටියේය.

කෙසේ හෝ වැඩිකල් ගත වීමට පෙර මැතිවරණ කාර්යාලය කෞතුකාගාරයක් වන බවත්, ඡන්දය නොපැවැත්වීම තුළින් පළාත් පාලන ආයතන කඩා වැටී ඇති බවත්,ඉදිරියේ දී ආණ්ඩුවට දැනෙන බලපෑමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය.

පෞද්ගලික මාධ්‍ය රජයේ ස්ථාවරයට ප්‍රමුඛස්ථානය ලබා දෙන අතර විපක්ෂයේ ප්‍රවෘත්ති පළ කිරීම තුළින් රජය නිරන්තරයෙන් විවේචනය වීම නිසා මාධ්‍ය නියාමන කිරීම සඳහා පනතක් සකස් කර ඇති බවත් ඒ තුළින් මාධ්‍ය පාලනයකට රජය යොමු වන බවත් මෙම මාධ්‍ය හමුවට එක් වු සමාජවාදී ජනතා පෙරමුණේ ප්‍රධාන ලේකම් රාජා කොල්ලුරේ මහතා පැවසීය.

මෙම ක්‍රියාවලිය තුළින් ආණ්ඩුව තමන්ට හීලෑ වු මාධ්‍යයක් බිහි කිරීමේ උත්සහයක නියැලී ඇති බවට ද කොල්ලුරේ මහතා කියා සිටියේය.