මේක නෙවිල් ප්‍රනාන්දුගේ පුද්ගලික ප්‍රශ්නයක් - පොලිස් මාධ්‍ය ප්‍රකාශකට අභියෝගයක්

මේක නෙවිල් ප්‍රනාන්දුගේ පුද්ගලික ප්‍රශ්නයක් - පොලිස් මාධ්‍ය ප්‍රකාශකට අභියෝගයක්

July 17, 2017   02:39 pm


රටේ  දැවෙන ප්‍රශ්න තිබියදී ආණ්ඩුවේ ප්‍රමුඛතාව විය යුත්තේ නෙවිල් ප්‍රනාන්දුගේ පෞද්ගලික ප්‍රශ්න විසඳීම නොවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

අද (17) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා කියා සිටියේ එක් එක් අයගේ පෞද්ගලික ප්‍රශ්න විසඳීම පසෙක තබා ඩෙංගු, කසළ, ජීවන බර බදු බර වැනි ජනතාව දැවෙන ජාතික ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කරන මෙන්  ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවයි.

එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

වෛද්‍ය සිසුන්, වෛද්‍ය සිසු දෙමව්පියන්, සයිටම් විරෝධි දේශපාලන බලවේග, මේ කවුරුවත් රෝහල රජයට පවරා ගන්න කියා ඉල්ලා සිටියේ නෑ.  කවුරුත් ඉල්ලා සිටියේ සයිටම් ජනසතු කරන්න කියලා.  සයිටම් සහ නෙවිල් ප්‍රනාන්දු රෝහල කියන්නේ එකක් නොව දෙකක්.  නෙවිල් ප්‍රනාන්දු රෝහල කියන්නේ පෞද්ගලික රෝහලක්.  සයිටම් කියන්නේ නීති විරෝධි වෛද්‍ය පීඨයක්. 

නෙවිල් ප්‍රනාන්දු රෝහලට රෝගින් එන්නේ නැති නිසා අයිතිකාරයින්ට දැවැන්ත අර්බූදයක් මතු වෙලා තිබුණේ.  එක පැත්තකින් රෝගින් නැති නිසා මේ දැවැන්ත රෝහල නඩත්තු කරන්න ආදායමක් නෑ.  අනිත් පැත්තෙන් රෝහලට රෝගින් නැති නිසාම සයිටම් වෛද්‍ය පීඨය කර ගෙන යන්න බැරි වෙලා.  නෙවිල් ප්‍රනාන්දු කියන ව්‍යාපාරිකයා මුහුන දී සිටින මෙන්න මේ ප්‍රශ්න දෙක විසඳලා දීම තමයි මේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේ ඇත්ත අරමුණ.

මේ අතර හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, කොමදෝරු ඩී.කේ.පී දසනායක අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්ද ඔහු මෙසේද කියා සිටියේය.


කොමදෝරු ඩී කේ පි දසනායක මහතා කප්පම් ගැනීම්, පැහැර ගැනීම් සහ අතුරුදහන් කිරීම් වලට සම්බන්ධ බව පෙන්වීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඊයේ නිර්ලැජ්ජිත උත්සාහයක නිරත වුණා.  ඒ වගේම පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන විධියට කොමදෝරු දසනායක අපරාධකාරයෙකු බවට වාර්තා කරන්නේ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ.  මේක පට්ටපල් බොරුවක්.
ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ නාවික හමුදාවේ නිලය භාවිතා කරමින් කොළඹ අහිංසක දෙමළ ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ගන්නා බවට එවකට නාවික හමුදාපතිඅද්මිරාල් කරන්නාගොඩට මහතාට  තොරතුරු ලැබෙනවා.  මේ පිළිබදව නාවික හමුදාව සිදු කරපු අභ්‍යන්තර විමර්ශනයේදී එම කාරණා සත්‍ය බවට ඒත්තු ගැන්වුණු නිසා ඒ පිළිබඳ වැඩිදුර විමර්ශනය කිරීමට කරන්නාගොඩ මහතා පොලීසියට පැමිණිලි කරනවා.

මෙම කප්පම් ගැනීම් සිදු කළ සමයේ කොමදෝරු දසනායක බුද්ධි අංශ භාරව සිටියේ නෑ.  ඔහු කටයුතු කලේ නාවික හමුදාවේ නියෝජ්‍ය මෙහෙයුම් අධ්‍යක්ෂ සහ කුඩා බෝට්ටු මෙහෙයුම් ප්‍රධානියා ලෙසයි. ඒ වගේම නාවික හමුදා බුද්ධි අංශත් මේ කප්පම් සිද්ධියට කිසිදු සම්බන්ධයක් නෑ. සම්පත් මුණසිංහ කියන නාවික හමුදා නිලධාරියත් ඔහු යටතේ සිටි යම් පිරිසකුත් තමයි මේ සම්බන්ධයෙන් සැක කරනු ලබන්නේ. ඔවුන්ට එරෙහිවයි පැමිණිලි තිබෙන්නේ.

රණවිරුවන් මොන අපරාධය කළත් ඉවසා ගෙන සිටිය යුතු දැයි එන්ජිඕකාරයින් අපෙන් අහනවා.  කවුද එහෙම කරන්න කිව්වේ?  දැන් ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහත් යුද බිමේ විශිෂ්ට දස්කම් පෑ දක්ෂ රණවිරුවෙක්.  ඒත් අපි ඔහු වෙනුවෙන් පෙනී සිටියේ නෑනෙ. ඒ වගේම මේ වණ විටත් නාවික හමුදා නිලධාරීන් හත් දෙනෙක් මේ කාරණය සම්බන්ධයෙන් අත් අඩංගුවේ ඉන්නවා. අපි ඒ සෑම දෙනා වෙනුවෙන්ම පෙනී සිටින්නේ නැහැ. අපි කොමදෝරු දසනායක වෙනුවෙන් පෙනී සින්නේ ඔහු රණ බිමේ පෑ දස්කම් නිසා දෙමළ බෙදුම්වාදීන්ගේ මනදොළ සැපරීමේ අරමුණින් පදනම් විරහිත ලෙස අත් අඩංගුවට ගෙන ඇති නිසයි. 

නීතිපති දෙපාර්තමේන්තුව මෙම සිදුවීම සම්බන්ධයෙන් ද පිටු 51 වාර්තාවක් සකසා තිබෙනවා.  එම වාර්තාවට අනුව කොමදෝරු දසනායකට එරෙහිව චෝදනා ගොනු කිරීමට කිසිම පදනමක් නෑ.  සැබෑ සැකකරු වන සම්පත් මුණසිංහ ඇප ලබා එළියේ.  දසනායක රක්ෂිත බන්ධනාගාරයේ.

ඒ වගේම මම පොලිස් මාධ්‍ය ප්‍රකාශකට අභියෝග කරනවා ඒන්න මා සමග විවාදයකට පාළු ගෙයි වළං බිඳින්නැතුව.  මේ පොලීසිය කරන අමන තකතීරු වැඩේ ජාතිය ඉදිරියේ හෙළි කරන්න අපි ගාව තොරතුරු තිබෙනවා.  පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමනි, ඔබ පවසන්නේ සත්‍ය යැයි ඔබේ හදවත කියනවනම් එන්න මා සමග විවාදයකට. ඔය කාකි සූට් එක ඇඳීමට ඔබ නුසුදුසු බව මම එහිදී ඔප්පු කර පෙන්වන්නම්.