පක්ෂ දෙකක් එක්ව වැඩ කිරීම අසීරුයි

පක්ෂ දෙකක් එක්ව වැඩ කිරීම අසීරුයි

July 17, 2017   02:03 pm


පක්ෂ දෙකක් එකතු වී වැඩ කටයුතු සිදු කිරීම ඉතා අසීරු කාර්යයක් වුවත්, රටේ පවතින ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා එකට එකතු වී වැඩ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මධ්‍ය ආදායම් වෘත්තීකයන් වෙනුවෙන් ක්‍රියාත්මක මධ්‍ය ආදායම් නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියරේ නිවාස 500 ක් ඉදිකිරීම සඳහා අද(17) දිනයේ පැවති උත්සවයට එක් වෙමින් අගමැතිවරයා මේ අදහස් පළ කළේය.

ජාතික ආණ්ඩුව තුළින් එක්සත් ජාතික පක්ෂයට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වාසි ගැනීම සඳහා කිසිදා කටයුතු නොකරන අතර, සිදු කරනු ලබන වැඩ දෙස බලා අනාගතයේ දී පැවැත් වෙන මැතිවරණයකදී ජනතාව විසින් දේශපාලඥයින් තොරා ගනු ඇති බවත්, අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර රටේ පවතින ණය අවශ්‍යතාව පියවීම සඳහා තරගකාරී වෙළෙඳ ආර්ථිකයක් අවශ්‍ය බවත්, ඒ තුළින් 2020 වන විට ණය පියවිය හැකි ආර්ථිකයක් බිහිකරන බවත් වික්‍රමසිංහ මහතා පැවසීය.

මේ අතර සෞඛ්‍ය හා අධ්‍යාපන කේෂ්ත්‍ර තව තවත් සංවර්ධනය කළ යුතු බවත් ඒ තුළින් ජනතාවට සහන සැළසීමට රජය කටයුතු කරන බවද ඔහු අවධාරණය කර සිටියේය.