ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉදිරියේදී අඩුවෙයිලු

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉදිරියේදී අඩුවෙයිලු

July 17, 2017   12:20 pm



දැනට ක්‍රියාත්මක ඩෙංගු මර්දන වැඩපිළිවෙළ හේතුවෙන් ඉදිරි සති දෙකක පමණ කාලය තුළ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව අඩුවිය හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රෂිලා සමරවීර මහත්මිය සඳහන් කළේ ඩෙංගු රෝගීන් බහුලව වාර්තා වන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ආවරණය වන පරිදි තවදුරටත් ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන බවයි.

ඒ  අනුව ලබන 20, 21 සහ 22 යන තෙදින තුළ බස්නාහිර, කෑගල්ල, රත්නපුර, කුරුණෑගල, ගාල්ල දිස්ත්‍රික්කවල විශේෂ ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රෂිලා සමරවීර මහත්මිය පැවසුවේය.

මේ අතර රෝහල්වල පවතින දැඩි තඳබදය හේතුවෙන් බරපතළ තත්ත්වයේ පසු නොවන ඩෙංගු රෝගීන් රෝහල්වලට ඇතුළත් කර ගැනීම සීමා කර  ඇති අතර ඔවුන් වෛද්‍ය නිර්දේශය මත නිවසේ සිට ප්‍රතිකාර ගනු ලබයි.

දැනට වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවට  සහ මරණ සංඛ්‍යාවට එසේ නිවෙස්වල සිට ප්‍රතිකාර ලබන රෝගීන් ඇතුළත් වන්නේ ද යන්න සම්බන්ධයෙන් අද දෙරණ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රෂිලා සමරවීර මහත්මියගෙන් විමසීමක් කළේය.

එහිදී එතුමිය කියා සිටියේ ඩෙංගු වැළඳී  ඇති රෝගීන් පිළිබඳව ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුම්වත් කළ යුතු බවත් , ඒ අනුව එම ගණනය කිරීම් සිදු කිරීමට එම සංඛ්‍යා දත්ත පදනම් කර ගන්නා බවත්ය.

මේ අතර හෙද කාර්යය මණ්ලවල පවතින දැඩි හිඟය හේතුවෙන් දිවයිනේ රෝහල් රැසක ඩෙංගු ප්‍රතිකාර සේවා පවත්වගෙනයාම ගැටළුවක් වී ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි.