ඉගිනිමිටිය ජලාශයට සිදුව ඇති ඉරණම

ඉගිනිමිටිය ජලාශයට සිදුව ඇති ඉරණම

July 17, 2017   11:19 am

පුත්තලම ඉගිනිමිටිය ජලාශයට අයත් භූමි ප්‍රදේශයේ සිදුකෙරෙන පාරිසරික විනාශය හේතුවෙන් මේවන විට අත්වී ඇත්තේ සෝචනීය තත්ත්වයකි.

අද උකුස්සාගේ අනාවරණය ඒ පිළිබඳවයි.

පුත්තලම හා කුරුණෑගල දිස්ත්‍රික්ක දෙකට මැදිව පිහිටි ඉගිනිමිටිය ජලාශය පුත්තලම දිස්ත්‍රික්කයේ විශාලතම වාරි යෝජනා ක්‍රමය වන අතර මෙයින් පුත්තලම දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර දහස් ගණනක් පෝෂණය කරනු ලබයි.

අක්කර අඩි 59000 ක ජල ධාරිතාවකයක් රඳවා ගැනිමේ හැකියාව ඉගිනිමිටිය ජලාශයට ඇති නමුත් මේ වන විට අක්කර අඩි 8000 ක් දක්වා ජල මට්ටම පහත වැටි ඇත්තේ පවතින අධික නියඟය හේතුවෙනි.

එවැනි පසුබිමක ඉගිනිමිටිය ජලාශයේ ජල පෝශිත ප්‍රදේශ සහ ජල මට්ටම අඩුවු ජලාශ භූමි තුළ අක්කර සිය ගණනක නීති විරෝධි ලෙස සිදුවන වගා හේතුවෙන් ජලාශය දැඩි අවධානමකට පත්ව ඇති බවට අද දෙරණ උකුස්සාට රහසිගත තොරතුරක් ලැබිණි.

ඒ අනුව එම ප්‍රදේශයට ගිය උකුස්සාට දැකගත හැකි වුණේ ජලාශ භූමියේ ජල මට්ටම අඩුවු ස්ථාන තුළ අක්කර සිය ගණනක ජලාශය දැඩි අවධානමකට පත් කරමින් පිරිසක් ගොවිතැන් කරන ආකාරයයි.

එමෙන්ම වැව් ඉස්මත්තද ගොවිතැන්කරුවන් විසින් උකුස්සා එහි යන විටත් ගිනි තබා තිබුණි.

මොවුන් ජලාශයට අයත් ප්‍රදේශ ලෙස සැලකෙන තෝරව, කාටුවැව ,දිවුල්වැව, ගලයාය, වල්පාළුව සහ නාතෑණේරාව යන සිමාවන් තුළ ජලාශ භුමියද අත්පත් කර ගනිමින් කිසිවකුටත් ඇතුල් විය නොහැකි ලෙස  වැටවල් ගසමින් ජලාශය තුළ කිසිදු බියක් සැකක් නොමැතිව වගා කටයුතු සිදුකර තිබුණි.

මෙම අනවසර නීති විරෝධි වගාවන් සිදුකරන පිරිස් නැවති සිටීමට ටකරන් සහ පොල් අතුවලින් මඩු ඉදිකර ඇති ආකාරයද එහි ගිය උකුස්සාට දැකගත හැකි විය.

එසේම මෙම වගාකරුවන් ජලාශය අවට අක්කර 500 කට ආසන්න ප්‍රදේශයක සිදු කරන අනවසර වගාවන් නිසා ජලාශයේ ජලය බීමට පැමිණෙන අලි ඇතුන් හා අනිකුත් වන සතුන් විශාල පීඩාවන්ට මුහුණ දීමටට සිදුව තිබේ.

මෙවැනි විනාශයක් ඇස් පනාපිටම සිදුවන විටදීත් නිද්‍රාශීලී බලධාරීන්ගේ අවධානය මේ දෙසට යොමුවන තෙක් උකුස්සා සීරුවෙන්.