නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පැවරීමේ ගිවිසුමට අත්සන් තැබෙයි

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පැවරීමේ ගිවිසුමට අත්සන් තැබෙයි

July 17, 2017   10:38 am


පුද්ගලික රෝහලක් වන මාලඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල රජයට පවරා ගැනීමේ ගිවිසුමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී අත්සන් තබා තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපිට දී රජය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ජනක සුගතදාස මහතා සහ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අත්සන් තැබූ බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

මෙම රෝහල තුළින් ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ලබා දීමට බලාපොරොත්තු වන බවත්, නිදහස් රෝහලක් වශයෙන් පාලන මණ්ඩලයක් මඟින් එය මෙහෙය වීමට බලාපොරොත්තු වන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ දිනයේ සඳහන් කළේය.

එමෙන්ම එම රෝහලේ සේවයේ නියුතු කිසිඳු සේවකයෙකු ඉවත් නොකරන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

සයිටම් වෛද්‍ය විද්‍යාලය තවදුරටත් දියුණු කර ඉදිරියට පවත්වාගෙන යාම සඳහා සහය  ලබා දෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එමෙන්ම මෙම රෝහලට චෝදනාවක්ව පැවති රෝගීන් නොමැතිවීම මෙම තීරණය තුළින් මඟහැරී යන බවත්, අගෝස්තු මස 1 වන දා සිට මෙය ශික්ෂණ රෝහලක් වශයෙන් ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා එහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේ රජය කළ ඉල්ලීමකට අනුව ආරම්භ කළ ආයතනයක් රජයට ලබාදීම සම්බන්ධයෙන් කණගාටුවක් නොමැති බවයි.