මුදලට විකිණෙන මනුස්සකම

මුදලට විකිණෙන මනුස්සකම

July 17, 2017   10:37 am

ඩෙංගු වසංගත තත්ත්වයක් රට තුළ පවතින අවස්ථාවක මුදල් පෙරදැරි කරගෙන සිදු කෙරෙන කූඨ ඡාවාරමක් පිළිබඳව අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණ විය.

රට තුළ  මේ වන විට ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් පවතියි.

මේ වන විට වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 87000 ඉක්මවා ඇති අතර ඩෙංගු මරණ සංඛාව 230 ඉක්මවා ගොස් තිබේ.

එවැනි පසුබිමක ඩෙංගු වසංගත තත්ත්වය අවසන් වන තෙක් රුධිර පරීක්ෂණ ගාස්තු අඩු කරන ලෙසට පෞද්ගලික රෝහල් හා රසායනාගාරවලට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දැනුම් දුන්නේය.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් දැනුම් දෙනු ලැබුවේ ඩෙංගු රුධිර පරීක්ෂණය රුපියල් 1000කට හා පූර්ණ රුධිර පරීක්ෂණය රුපියල් 250ත් සිදුකරන ලෙසයි.

එහෙත් එම දැනුම්දීම් නොතකා ඇතැම් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවල අදාළ මුදල ඉක්මවා අය කිරීම් සිදුකරන බවට අද දෙරණ උකුස්සා සිදු කළ සොයාබැලීමකදී අංගොඩ හිඹුටාන ප්‍රදේශයෙන් තොරතුරු අනාවරණ විය.

ඒ අනුව ක්‍රියාත්මක වූ උකුස්සා එම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත ගොස් මේ පිළිබඳව සොයා බැලීය.

මේ පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාගෙන් සිදු කළ විමසීමකදී ඔහු සඳහන් කළේ අදාළ ආයතන පිළිබඳව විමර්ශන සිදුකරන බවත් මෙම පූර්ණ රුධිර පරීක්ෂණය සඳහා රුපියල් 150ක් පමණ වැයවන බවයි.

එමෙන්ම ජාතික කර්තව්‍යයන් සහ ඒවාට අනුගත නොවන ආයතන ඉදිරි වසරේදී ලියාපදිංචි කිරීම පිළිබඳව සලාකා බලන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

මෙවැනි වසංගත තත්ත්වයක් රට තුළ පවතින අවස්ථාවක මුදල් පෙරදැරි කරගෙන සිදු කෙරෙන මෙවැනි කූඨ ක්‍රියාවන් රට හමුවේ අනාවරණ කිරීමට අද දෙරණ උකුස්සා අදත් හෙටත් සීරුවෙන් සිටියි.