විවිධ පැතිවලට බෙදීයාමෙන් රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගන්න බෑ

විවිධ පැතිවලට බෙදීයාමෙන් රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගන්න බෑ

July 16, 2017   09:11 pm




පෞද්ගලික මතවාද මුල් කරගනිමින් විවිධ පැති වලට බෙදීයාමේන් රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගත නොහැකි බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

රුපියල් ලක්ෂ 660ක වියදමින් කාපට් කර සංවර්ධනය කළ බෝලවත්ත- දංකොටුව මාර්ගය පුජ්‍ය පඬිවර ජාකෝමේ ගොන්සාල් වෙස් පියනම මාවත ලෙස නම් කර ජනතා අයිතියට පැවරීමේ අවස්ථාවට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා මෙසේද කීය,

අපි සංවර්ධනය ආරම්භ කරන කොට  බොහෝදෙනෙක් සැක පහළ කළා ප්‍රමිතියකට කරන්නේ කොහොමද කියලා. නමුත් වංචා දුෂණ වලින් තොරව කරන සංවර්ධනය ප්‍රමිතියකින් යුතුව කළ හැකි බව අද  ජනතාවට පැහැදිලි වෙලා තිබෙනවා. ඒ වගේම ග්‍රාමීය සංවර්ධන කටයුතු තවත් ඉදිරියට කරගෙන යන්න අපි  කටයුතු කරනවා.  අපේ සංවර්ධන කටයුතු මුලිකවම කේන්ද්‍ර වෙලා තියෙන්නේ ජනතාවගේ ඉල්ලීම සහ ජනතා අවශ්‍යතා අනුවයි. ලෝක බැංකු ආධාර යටතේ මේ සංවර්ධනයන් තවත් පුළුල් කරන්න අපි කටයුතු කරනවා. මාර්ග සංවර්ධනයෙන් හුදෙකලාව තිබෙන ගම්මාන රටේ ආර්ථිකය සමග බද්ධ වෙනවා.

මගේ සංවර්ධන ඉලකකය මාර්ග සංවර්ධනයට එහා ගිය ඉලක්කයක්. එහිදී පුත්තලම් දිස්ත්‍රික්කයේ ජනතාවගේ යම් යම් ඉල්ලීම් මගෙන් ඉටු නොවන අවස්ථා තියේවි. නමුත් මම අරමුණු කරන ඉලක්කය ඔස්සේ ඔබ බලාපොරොත්තු උනාට වඩා දේවල් අනාගතයේදී ඔබට හිමි වෙයි.  ඒ වගේම පුත්තලම් දිස්ත්‍රික්කයේ තාරුණ්‍යයේ අනාගතය වෙනුවෙන් ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයක් මේ ප්‍රදේශයට ගේන්න ප්‍රතිපාදන වෙන් කරගෙන් අවසන්. එමගින් මේ ප්‍රදේශයේ තරුණ තරුණියන් රැකියා ඉලක්ක ගත පුහුණුවක් වගේම විනය ගරුක තරුණ නායකයින් පිරිසක් බිහි කිරීමටද හැකි වෙනවා. අපේ රජය යටතේ යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථාන සංඛ්‍යාව දෙගුණයක් කරන්න අපි කටයුතු කළා. එමඟින් රැකියා ඉලක්ක ගත වෘත්තීය හැකියාවෙන් යුතු  තරුණ ප්‍රජාවක් රට පුරා ඇති කල හැකියි.

මේ රටේ ආර්ථිකය ජාත්‍යන්තරය හා සම්බන්ධ කිරීමේදී ග්‍රාමීය ආර්ථිකය ජාතික ආර්ථිකය සමඟ සම්බන්ධ කිරීමත් ඉතා වැදගත්  ආර්ථික සංවර්ධනය කොළඹට හෝ හම්බන්තොටට පමණක් නෙමෙයි. සියලු ග්‍රාමීය ප්‍රදේශ වලට ව්‍යාප්ත කරන්න මේ රජය කටයුතු කරනවා.  රටේ සංවර්ධන ඉලක්ක වෙත ගමන් කිරීමේදී එක් එක් පෞද්ගලික මතවාද වෙනුවෙන් විවිධ පැතිවලට බෙදී කටයුතු කිරීමෙන් රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම කළ නොහැකියි. රට වෙනුවෙන් එක ඉලක්කයක් වෙනුවෙන්   සියලු දෙනා එකතු වී කටයුතු කළ යුතුයි. මෙහිදී ජනතාවට විශේෂ වගකීමක් තිබෙනවා. ඔබ නියෝජනය කරමින් පත්කරන පාලකයන් රට වෙනුවෙන් හිතන රටට සේවයක් කරන පිරිසක් වියයුතුයි. එසේ නොවුනොත් තව වසර ගනනාවක් ගියත් මේ රට එකතැන පල්වෙන එක වැළැක්විය නොහැකියි.

අපේ රටට විවෘත ආර්ථිකය හඳුන්වා දීලා මේ වසරට අවුරුදු 40ක් වෙනවා. මේ මාසේ 27 වෙනිදා අපි අතිගරු ජනාධිපතිතුමන්, ගරු අගමැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ජාතික තරුණසේවා සභාවේදී විවෘත ආර්ථිකය මේ රටට හඳුන්වා දීම සමරනවා.

විවෘත ආර්ථිකය හඳුන්වා දීලා වසර 40ක් ගත වුනත් බොහෝ දෙනෙක් තාමත් විවෘත ආර්ථිකය හඳුනාගෙන නැහැ. බොහෝ රටවල් නිවැරදි ප්‍රතිපත්ති ඔස්සේ විවෘත ආර්ථිකය සාර්ථකව යොදාගෙන තිබෙනවා. රුසියාව, වියට්නාමය, බංගලාදේශය, ඉන්දියාව වගේ රටවල් අද අපේ රටත් පහු කරගෙන සංවර්ධනයේ ඉහළට ගිහින් තිබෙනවා.

මේ රට සංවර්ධනය කරන්නට රාජ්‍ය මත යැපෙන මානසිකත්වයෙන් මිදිය යුතුයි. ස්වයංපෝෂිත ආර්ථිකයක් ඔස්සේ ගමන් කිරීම ඉතා වැදගත්. එහිදී පටු දේශපාලනය, පෞද්ගලිකත්වය මත කරන විවේචන වලින් ඉවත් වෙලා සාධාරණ විවේචන තුලින් ඉදිරියට යා යුතුයි.