නගර සභාවට පූර්ණ දේශපාලන අධිකාරියක් නෑ

නගර සභාවට පූර්ණ දේශපාලන අධිකාරියක් නෑ

July 16, 2017   09:08 pm



ඩෙංගු සහ කසළ ගැටළුවට එක ප‍්‍රධාන හේතුවක් වී තිබෙන්නේ නගර සභාවට පූර්ණ දේශපාලන අධිකාරියක් නොමැති වීම බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ පසුගියදා පැවති උත්සව අවස්ථාවකට එක් වෙමින්ය.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් දැක්වූයේ මෙවන් අදහසක්,

බොහෝ දෙනා දේශපාලනඥයාට බනිනවා. නමුත් බොහෝ දේශපාලකයින් 24 පැයම වැඩ, එහෙත් බොහෝ නිලධාරීන් වැඩ කරන්නේ උදේ 8 සිට 4 දක්වා පමණයි. අද නාගරික පළාත් පාලන ආයතනවල පාලනයේ ලොකු හිඩැසක් පවතිනවා.

හුඟක් අය පෙළපාලි යනවා, උද්ඝෝෂණය කරනවා පළාත් පාලන ඡන්දේ තියන්න කියා. ඇත්තටම ඇයි පළාත් පාලන ඡන්දය කල් ගියේ. අපි පළාත් පාලන මැතිවරණය අනුපාත ඡන්ද ක‍්‍රමයට පැවැත්වුවේ. ඒ අනුපාත ඡන්ද ක‍්‍රමය වෙනුවට මේ පළාත් පාලන මැතිවරණවලටත් කොට්ඨාස ක‍්‍රමයක්  ඕනෙයි කියලා රටේ අදහසක් ආවා. ඒ අනුව පසුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව විසින් අනුපාත ක‍්‍රමයෙයි කොට්ඨාස ක‍්‍රමයෙයි සම්මිශ‍්‍රණයකට මේ පළාත් පාලන  ඡන්ද තියන්න පනතක් ගෙනල්ල, ඒ පනත කොට්ඨාසවලට 70% ක් ඒ වගේම අනුපාතවලට 30% ක් හිටියට පාර්ලිමේන්තුවේ ඒකමතිකව සම්මත උනා. මේ ක‍්‍රියාදාමය කරගෙන යනකොට කොට්ඨාස කඩන්න ගියහම ගැටළුවක් පැන නැගුණා. ඒ එම කි‍්‍රයාවලිය විධිමත්ව සිදු උනේ නැති නිසා. බැසිල් රාජපක්ෂ මහතා ඒකට අතගහලා තමන්ට වාසිවෙන විදිහට කොට්ඨාස කැඩුවයි කියන එක දැන් රහසක් නෙමෙයි.

විවිධ පුද්ගලයෝ, විවිධ ජන කණ්ඩායම් ඉදිරිපත්වෙලා කිව්වා අපේ ප‍්‍රදේශවල, කොට්ඨාස කඩපු එකේ අවිධ්‍යාත්මක භාවයක් තිබෙනවයි කියලා. යහපාලන ආණ්ඩුව මේ විරෝධතාවන් සලකා බලන්නත් අවස්ථාවක් දුන්නා. රටේම පළාත් පාලන 338ක කොට්ඨාස 5092 ක් තියෙනවා. ඒ 5092 කට කුඩා කුඩා කොට්ඨාසවලට මන්ත‍්‍රීවරු 5,092 ක් පත්වෙන්න නියමිතයි. එතකොට ඒ කොට්ඨාසයට තමයි තරඟ කරන්නේ. හැබැයි ඊට පස්සේ නොයෙක් දෙනා නොයෙක් නොයෙක් යෝජනා ගෙනාවා. තව අනුපාතයට 30% ක්  ඕනෙ කිව්වා. ඒ අනුව මේ යම්කිසි පක්ෂයකට ඒ පළාත් පාලන ආයතනයෙන් ලැබිලා තිබෙන ඡන්ද ප‍්‍රමාණය අනුව ඒ 30% ආසන ප‍්‍රමාණය වෙන් වෙනවා. එතකොට මේ ආසන ගණන 7,200 දක්වා වැඩි උනා.  එතකොට වැඩිවන 2,200 පක්ෂවල ලබාගත් ඡන්ද ප‍්‍රමාණය අනුව වෙනස් වෙනවා. ඒ ගොල්ලන්නට ඒ ආසන අනුපාතයට අනුව ලැබෙනවා. එය වෙනම ලැයිස්තුවක්. ඊළඟට කාන්තාවන්ට නියෝජනයක් නැති නිසා තරඟ කරන්නේ නැතිව එන්න 25% ක් දෙන්න කියලා. එතකොට තව 25% කින් වැඩි උනා. එතකොට මන්ත‍්‍රීවරු ගණන 9,000 ටත් වැඩි වෙනවා. දැන් අද අපේ මේ මන්ත‍්‍රීතුමාලා ප‍්‍රාදේශීය සභාවල, නගර සභාවල හිටපු කාලේ මුළු රටේම මන්ත‍්‍රීධූර තිබුනේ 4500 යි. දැන් මේ අලුත් ක‍්‍රමය යටතේ මෙය වැඩිවෙනවා 9,000 ක් දක්වා. ඒ කියන්නේ දෙගුණයකින් වැඩිවෙනවා. මේ ගැන ආණ්ඩුවේ සහ පක්ෂවල  අවධානය යොමුවෙලා මේ ගාණ අඩුකරගන්න  ඕනේ කියලා කල්පනා කළා. ඒ අනුව අඩු කළයුත්තේ කොහෙන්ද කියන ගැටළුව පැන නැග්ගා. ඒ ගැන සාකච්ඡා කරලා, අපි එකඟවෙලා 7,000 – 8,000 ත් අතර ප‍්‍රමාණයකට මෙය ගෙන ආ යුතුයි.

මැතිවරණ කොමිසමේ සභාපතිතුමා, හිටපු කොමසාරිස්තුමා කිව්වා මේ පරණ නීතිය අනුව ඡන්ද තියන්න බැහැ කියලා. ඒ අනුව නීතිය වෙනස් කරන්න  ඕනෙයි කියලා. එතකොට නීති 55ක් වෙනස් කරන්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා ඒ පනත දැන් සකස් කර තිබෙනවා. මෙන්න මේ වගේ බාධා විශාල ප‍්‍රමාණයක් නිසා මිසක් මේ ආණ්ඩුවට, ජනාධිපතිතුමාට හෝ අගමැතිතුමාට කිසිම අවශ්‍යතාවයක් නැහැ පළාත් පාලන ඡන්දය කල් දාන්න. පළාත් පාලන ඡන්දය කල් ගියේ මෙන්න මේ වගේ සංකීර්ණ ගැටළු ගණනාවකට විසඳුම් සොයා ගන්න ගිය නිසයි. මේ පළාත් පාලන ඡන්දය පරණ ක‍්‍රමයට හරි තියලා ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන්න කියලා අපි කිහිප වතාවක්ම කිව්වා. දැන් අවශ්‍යවෙලා තිබෙනවා ඇත්තටම මහජන නියෝජිතයින්. ඩෙංගුවලට විරුද්ධව සටන් කරන්න. ඒ වගේම කසළවලට විසඳුමක් සොයා ගන්න. මේ හැම දෙයකටම බිම් මට්ටමේ නායකයා අපිට අවශ්‍යවෙලා තිබෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තුවෙනවා, අපි ඉල්ලා සිටිනවා අපේ ආණ්ඩුවෙන්, සියලූම දේශපාලන පක්ෂවලින් කඹ අදින්නේ නැතිව, වැඩ අවුල් කරන්නේ නැතිව මේ වසර අවසන් වෙන්න පෙර මේ පළාත් පාලන ඡන්දය තියලා මහජන නියෝජිතයෝ මේ රටේ පළාත් පාලන ආයතන 338 ටම පත් කරන්න කියලා.

එය මේ පක්ෂවල බලය උරගා බලන සටනක් නෙමෙයි, මේ ජනතාවට සේවය කිරීම අත්‍යාවශ්‍ය අවශ්‍යතාවයක් බව ප‍්‍රකාශ කරන්න  ඕනේ. ඒ නිසා මේ අවුරුද්ද අවසන් වීමට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සෑම දේශපාලන පක්ෂයකම එකමුතුභාවය අවශ්‍යයි. කවුරුහරි කට්ටි පනිනවා නම්, හේතු දක්වනවා නම්, හේතු දක්වලා අවුල් කරන්න හදනවා නම් ඒ අය මේ රටේ ජනතා ද්‍රෝහියෝ පිරිසක්. ඒ අය මේ රටේ පළාත් පාලන ආයතනවල බිම් මට්ටමේ ජනතාවට බලය ලැබෙන එකට විරුද්ධ පිරිසක්. එය අපි බොහොම පැහැදිලිව අවධාරණය කරන්න  ඕනේ’’ යි පැවසීය.