විනය විරෝධී ලෙස හැසිරෙන මන්ත්‍රීවරුන්ට දඬුවම් පනවනවා

විනය විරෝධී ලෙස හැසිරෙන මන්ත්‍රීවරුන්ට දඬුවම් පනවනවා

July 16, 2017   12:48 pm


පාර්ලිමේන්තුව තුළ විනය විරෝධී ලෙස හැසිරෙන මන්ත්‍රීවරුන්ට එරෙහිව ඉදිරියේදී දැඩි දඬුවම් පැනවීමට අවශ්‍ය නීති සකස් කරන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සංශෝධනය කරමින් ඒ සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සිදුකිරීමට බලාපොරොත්තු වන බව මහලේකම්වරයා කියා සිටියේය.

ඒ අනුව පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධාකාරී වන පරිදි හැසිරෙන මන්ත්‍රීවරුන්ට සති 8ක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කිරීමට අවශ්‍ය  නීති ප්‍රතිපාදන සකස් කිරීමට නියමිතය. 

පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් සඳහා කළුතර පැවති දෙදින වැඩමුළුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා මෙම අදහස් පළ කළේය.

මේ අතර පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම් මාධ්‍යයට විවෘත කිරීම පිළිබදව ද මේ වන විට අවධානය යොමුකර ඇති බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

ඒ සදහා යෝජිත ස්ථාවර නියෝග සංශෝධනය මඟින් රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ රැස්වීම්වලට මාධ්‍යයට සහභාගී වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය  කරන බව  ධම්මික දසනායක මහතා පැවසුවේය.