හැමදේම අපි කරගන්නවා නම් රජයක් අවශ්‍ය නෑ

හැමදේම අපි කරගන්නවා නම් රජයක් අවශ්‍ය නෑ

July 16, 2017   12:01 pm

කසළ ජනනය කිරීම ජනතාව විසින් සිදුකරනු ලබන අතර එය කළනාකරණය කර ගැනීමත් ඔවුන් විසින්ම සිදුකරයි නම් රටකට රජයක් අවශ්‍ය නොවන බවත්, අභාග්‍ය සම්පන්න ලෙස වත්මන් රජයට මේ පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැති බවත්, පරිසරවේදී නයනක රන්වැල්ල මහතා පවසයි.

සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය විසින් ඊයේ(15) කොළඹ දී පවත්වනු ලැබූ “නිකසළ රටක් කරා“ යන දේශනයට එක් වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.

අද වන විට කසළ ජනනය කිරීම පමණක් නොව බෙදා ගැනීමත් ගැටළුවක් වී ඇති බවත්, එයට විසඳුමක් ලෙස පාඨලි චම්පික රණවක අමාත්‍යවරයා විසින් පරිසර හිතකාමී කසළ බහාලුමක් යොජනා කර තිබුණ ද එය ද පරිසරයට හානිකර තත්ත්වයක් උදා කළ හැකි බවත්, මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රන්වැල්ල මහතා පැවසීය.

අරුවක්කාළුව ප්‍රදේශයට මීතොටමුල්ලේ ඇති කුණු රැගෙන යෑමට ඒ තුළින් යෝජනා වුවද ඒ සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යනයක් හෝ මෙතෙක් සිදු කර නොමැති බවත්, පාරිසරික කුණු කසළ රඳවනයක් සඳහා අවශ්‍ය මුලික කරුණු කිහිපය හො ඒ තුළින් ඉටු නොවන බවත්, ඔහු තව දුරටත් කියා සිටියේය.

එමෙන්ම විල්පත්තු රක්ෂිතයේ ජෛව ඝනත්වය ඉහළම ස්ථානයක් කසළ රඳවනය සඳහා නිර්දේශ කිරීම තුළින් මෙන්ම ලාංකීය ශිෂ්ටාචාරයේ සැඟවුණු වංශ කතාව යටපත් කරමින් මෙම කසළ රඳවනය රණවක අමාත්‍යවරයා සැකසීමට යෝජනා කිරීම අභාග්‍ය සම්පන්න තත්ත්වයක් බවද රන්වැල්ල මහතා මෙහිදී අනාවරණය කළේය.

පසුගිය ආණ්ඩුව සමයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ද මෙම යෝජනාව ගෙන එනු ලැබූ අතර මෙහි තාක්ෂණික ප්‍රවේශයේ ද යම් යම් ගැටළු සහගත තත්ත්වයන් පවතින බවද පැවසු රන්වැල්ල මහතා මෙහිදී තව දුරටත් කියා සිටියේ මෙක්ට්‍රික් ටොන් 30 ලක්ෂයක් වු මීතොටමුල්ලේ ඇති කුණු කෝච්චියක් මඟින් නව කසළ රඳවනයට රැගෙන යෑමට යෝජනා කර ඇති නමුත් එක් දිනකට කෝච්චියෙන් රැගෙන යා හැක්කේ ටොන් 500 ක් පමණක් වන අතර අවම වශයෙන් මීතොටමුල්ලේ කුණු පමණක් ඉවත් කිරීමට වසර 16 ක් පමණ ගත වන බවයි.

චම්පික රණවක අමාත්‍යවරයා විශ්‍රාම යාමෙන් පසුව ද මෙම කර්තවය අවසන් නොවන අතර මෙය ක්‍රියාත්මක කිරීම හාස්‍ය ජනක ක්‍රමයක් වන බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් පසුගිය කාලයේ මීතොටමුල් ප්‍රදේශයේ කුණු දේශපාලනයක් පැවති බවත් එයට ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් වගකිව යුතු නොවන අතර ප්‍රාදේශිය වශයෙන් දේශපාලනයේ සිටි සියලු දෙනා කුණුවලින් නොයෙක් ප්‍රයෝජන ලබා ගත් අතර කසළ අද වන විට ඡාවාරමක් බවට පත්ව ඇති බව ද රන්වැල්ල මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.