නියඟයෙන් පුත්තලමට පීඩා  -  ලක්‍ෂයකට වැඩි පිරිසක් පීඩාවට

නියඟයෙන් පුත්තලමට පීඩා - ලක්‍ෂයකට වැඩි පිරිසක් පීඩාවට

June 25, 2017   09:23 pm



 මේ වන විට නියඟයෙන් පුත්තලම ප්‍රදේශයේ ලක්‍ෂයකට අධික පිරිසක් පීඩාවට පත්ව සිටින බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

නල ළිං සියල්ල සිදී ගොස් ඇති බවත් පිරිසිදු පානීය ජලය සපයා ගැනීම ප‍්‍රදේශයේ ජනතාවට ඉතා අපහසු කටයුත්තක් වී ඇති බවත් ඔහු පැවසීය. 

නියගයෙන් පීඩාවට පත් පුත්තලම දිස්ති‍්‍රක්කයේ ජනතාවට අත්‍යාවශ්‍ය සහන ලබා දීමට කඩිනම් වැඩපිලිවෙළක් සකස් කරන්නැයි  නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇති බවද එම මහතා පෙන්වාදෙයි. 

පුත්තලම දිස්ති‍්‍රක් ලේකම් එන්.එම්.බී චිත‍්‍රානන්ද මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සමග පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පුත්තලමට අයත් ප‍්‍රාදේශීය බල ප‍්‍රදේශ 16 න් 14 ක්ම නියගයට ගොදුරු වී ඇති අතර ප‍්‍රාදේශිය ලේකම් බල ප‍්‍රදේශ 12 කට නියගයේ බලපෑම තදින් බලපා තිබේ. 

එම ප‍්‍රදේශවල අවශ්‍යතා සොයා බැලීම සඳහා පුත්තලම දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ අධීක්‍ෂණය මත කඩිනම් වැඩපිළිවෙලක් කි‍්‍රයාවට නැගීමටද පියවර ගෙන ඇත. 

අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේ ප‍්‍රදේශයේ ජනතාවට පානීය ජලය ලබා දීම සඳහා ජල බවුසර්වල හිගයක් පවතින අතරම එම අවශ්‍යතාව කඩිනමින් සම්පූර්ණ කිරීමට පියවර ගෙන ඇති බවද ඔහු පැවසීය.

නියං සහිත කාලගුණික තත්ත්වය තවදුරටත් පැවතුනහොත් පුත්තලමට හදිසි සහන ලබා දීමට සිදු වනු ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. 

පිරිසිදු පානීය ජලය නොමැති වටපිටාවක පැතිර යාමට ඉඩ ඇති රෝග තත්ත්වයන් පිළිබඳ වැඩි අවදානයක් යොමු කරන ලෙස තමන් සෞඛ්‍ය අංශ වෙත උපදෙස් ලබා දුන් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.