දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියට සම්මානයක්

දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියට සම්මානයක්

June 25, 2017   09:19 pm

 

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අග්නිදිග ආසියාතික කලාපීය රටවල් අතර දුම්කොළ පාලනය කිරීමේ ජාතික වැඩසටහන්වල අරමුණු සාක්ෂාත් කර ගැනිම වෙනුවෙන් මෙවර "ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ විරොධී දිනය සඳහා වූ අග්නිදිග ආසියානු කලාපීය ගෝලීය  සම්මානය” ශ්‍රී ලංකාවේ දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය වෙත ප්‍රදානය කිරීමට නියමිතය.

දුම්කොළ හා මධ්‍යසාරවලින් සිදුවන හානි තුරන් කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති සැකසීම සඳහා පවතින රජයට උපදෙස් ලබාදීම සඳහා 2006 අංක 27 දරණ දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරි පනත මගින් 2007 වසරේදී දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය ස්ථාපිත කරන ලදී. දුම්කොළ හා මධ්‍යසාර නිෂ්පාදන මගින් සිදුවන සෞඛ්‍යමය, සාමාජයිය හා ආර්ථීකමය ව්‍යවසනයන්ගෙන් වැඩිහිටියන් හා ළමා පරපුර ආරක්ෂා කර ගැනීම අධිකාරියෙහී මුලික පරමාර්ථය වේ.

ලෝක දුම්කොළ පාලනය පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය (FCTC) ශක්තිමත්ව බලාත්මක කිරීමට අවශ්‍ය නීති රීති සම්පාදනයේ දී ද වත්මන් රජයේ සහ සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පුරෝගාමී ආයතනයක් ලෙස කටයුතු කර ඇත.

මේ අනුව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය දුම්කොළ කර්මාන්තය නිසා සිදුවන සෞඛ්‍යමය හානි පිටු දැකීමට මහගු දායකත්වයක් සපයා ඇත.

ශ්‍රී ලංකාව මුල සිටම දුම්කොළ හා මධ්‍යසාර පිලිබඳ අන්තර්ජාතික සම්මුතියේ මාර්ගෝපදේශනය අනුව යමින් දුම්කොළ පාලනය සඳහා කටයුතු කර ඇති බවත් ඉදිරියේදීත් මෙම දුම්කොළ වසංගතය මැඩලීම  සඳහා ලෝක සෞඛ්‍ය  සංවිධානයේ මගපෙන්වීම යටතේ ඉතා තියුණු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා වැඩිදුරටත් පැවසීය.