DLB හා NLB ගත්තේ දූෂණ නවත්වන්න

DLB හා NLB ගත්තේ දූෂණ නවත්වන්න

June 25, 2017   01:10 pm



මුදල් අමාත්‍යාංශය යටතේ තිබූ ලොතරැයි මණ්ඩල දෙක විදේශ කටයුතු අමාත්‍යාංශය යටතට ගත්තේ ඒ තුළ සිදුවන වංචා දූෂණ නැවැත්වීමට බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අද(25) මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

තමන් මුදල් අමාත්‍යාංශයේ කටයුතු කරන කාලයේ එහි සිදුවූ දූෂණ වංචා අවම කිරීමට කටයුතු කළ බවත්, මේ හේතුවෙන් අලාභ ලැබූ ආයතනය රුපියල් මිලියන 300ක වාර්ෂික ලාභයක් ලැබූ බවද හෙතෙම පවසා සිටියේය.

මේ හේතුවෙන් එම ආයතන දෙක විධිමත්ව පවත්වා ගෙන යෑම සඳහා එම ආයතන දෙක තමන් යටතට ගත් බවත්, ඒ සඳහා මුදල් අමාත්‍යවරයාගේ කිසිදු විරෝධයක් නොමැති බවත් එම මහතා වැඩි දුරටත්  පවසා සිටියේය.

තවද සියලුම තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් දිවයිනට කැදවීමට රජය තීරණය කර තිබේ.

විශේෂ දෙදින වැඩමුළුවක් සඳහා සැප්තැම්බර් මස 4 වන දින මෙම කැදවීම සිදුකිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කළේය.

 මෙරට තානාපතිවරුන් සදහා නිසි වැඩපිළිවෙළක් හඳුන්වාදීමට නියමිත අතර රාජකාරී නිසි ලෙස ඉටු නොකරන තානාපතිවරුන් ඉවත් කිරීමට ද පියවර ගන්නා බව විදේශ කටයුතු අමාත්‍යවරයා පවසයි.

ඒ අනුව මේ වන විටත් තානාපතිවරුන් තිදෙනෙකු නැවත දිවයිනට කැඳවීමට පියවර ගෙන ඇති බව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී රවී කරුණානායක අමාත්‍යවරයා සඳහන් කළේය.