ත්‍රිවිධ හමුදාවේ ඉන්නේ කසළ ශෝධකයන් නෙමෙයි

ත්‍රිවිධ හමුදාවේ ඉන්නේ කසළ ශෝධකයන් නෙමෙයි

June 23, 2017   10:48 pm

වර්තමානයේ කුමන ප්‍රශ්නයක් පැන නැගුණද එයට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය හා පළාත් පාලන ඡන්දය සම්බන්ධකර ගැනීමට ඇතැම් බංකොලොත් දේශපාලඥයන්ගේ සිරිත වී ඇති බව අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා පවසයි.
 
කසළ කළමනාකරණය සම්බන්ධයෙන් පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“අද දවසේ මොන ප්‍රශ්නයක් ආවත් එතැනට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයයි, පළාත් පාලන ඡන්දයයි සම්බන්ධකර ගන්න එක සමහර බංකොලොත් දේශපාලඥයන්ගේ සිරිත වෙලා තිබෙනවා. ඒකට තවත් දෙයක් එකතුකරලා විවිධ අසත්‍ය ප්‍රචාර පතුරුවන්න පටන් අරගෙන. දැන් එයාලා කියනවා ත්‍රිවිධ හමුදාව යොදාගෙන කසළ ඉවත් කරනවා කියලා. ඒත් මම එකක් කියන්න කැමතියි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් යහපාලන රජය එවැනි පහත් වැඩ කරන්නෙ නෑ. ත්‍රිවිධ හමුදාවෙ ඉන්නෙ කසල ශෝධකයන්  නෙමෙයි. රණවිරුවෝ. ඒක අපිට අමතක නෑ. සමහර අමතක පුද්ගලයන්ට එවැනි අවමාන  කරන්න පුළුවන් වුනාට මේ වගේ පහත් වැඩ යහපාලන රජය යටතේ කිසි දවසක සිදු වෙන්නෙ නෑ. කියලා මම වගකීමෙන් කියනවා. 

අපේ රට තුළ සිදුවෙන ඕනෑම දෙයක් දේශපාලන න්‍යාය පත්‍රයක  ප්‍රස්තුතයක් බවට හරවා ගන්නට තරම් බලයට කෑදර බංකොලොත් දේශපාලඥයන් පහත් තත්වයකට වැටිල. මේක හරිම අවාසනාවන්ත තත්වයක්. ආපදාවක දී ජනතාව විපතට පත් වුනත් එතැනදී දේශපාලනය කරන්න හදන මේ පනත් මානසිකත්වයෙන් අනිවාර්යයෙන්ම මිදිය යුතුයි. එහෙම වුනේ නැත්නම් රටක් හැටියට ජාතියක් හැටියට කවදාවත් අපිට නැගිටින්න ලැබෙන්නෙ නෑ. ඒ නිසා  මෙම මහා  ජාතික  ආපදා අවස්ථාව සදහා භේද පසෙකලා එක්ව විසදුම් සෙවීම සිදුකළයුතුයි. රටක් ලෙස නැගී සිටීමට නම් රාජ්‍ය නායකයා ශක්තිමත් කළයුතුයි. ඒක අපි හැමදෙනාගේම  යුතුකම හා වගකීම. “ යනුවෙන් ඒ මහතා පැවසීය.