පහරදීම හෙළාදකිනවා-මේ ඉතිහාසයේ ම්ලේච්ඡතම ප්‍රහාරයයි

පහරදීම හෙළාදකිනවා-මේ ඉතිහාසයේ ම්ලේච්ඡතම ප්‍රහාරයයි

June 23, 2017   04:33 pm


ශ්‍රී ලාංකේය සරසවි අරගල ඉතිහාසයේ ආණ්ඩුවක් විසින් සිදුකරනු ලැබූ මිලේච්ඡතම පහරදීම තමා විසින් හෙළාදකින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

වෛද්‍ය අධ්‍යාපනයේ අනාගතය නිරෝගී කිරීම සඳහා සිසුන්, විශ්වවිද්‍යාල ප්‍ර‍ජාව සහ වෛද්‍යවරුන් සමඟ වහා සාකච්ඡා මේසයේ අසුන් ගන්නා ලෙස ජනාධිපති, අගමැති ප්‍ර‍මුඛ සමස්ත ආණ්ඩුවට තමා අවධාරණය කරන බැව් මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

එකී නිවේදනයේ මෙසේද සඳහන්ය.


ශ්‍රී ලාංකීය සරසවි අරගල ඉතිහාසයේ ආණ්ඩුවක් විසින් සිදුකරනු ලැබූ මිලේච්ඡතම පහරදීම ලෙස ඊයේ සරසවි සිසුන්ට එල්ල කරනු ලැබූ ප්‍ර‍හාරය ඉතිහාසයේ සටහන් වනවා නොඅනුමානය. පකිස්ථානයේ සංචාරයක නිරත  මා එම පහරදීම් අතුළත් සමහර දර්ශන නැරඹුවේ දැඩි කම්පනයෙනි. තිරස්චීන පහරදීම මුළුමනින්ම හෙළා දකිමි.

නිදහස් අධ්‍යාපනය සුරැකීම සහ ඒ වෙනුවෙන් දළ දේශිත නිශ්පාදිතයෙන් 6%ක් වැය කරන බව සපථ කොට බලය ලබාගත් ආණ්ඩුවක් යටතේ නිදහස් අධ්‍යාපනය සුරැකීම සඳහා අරගල කරන්නට සිදුවීම එක් අතකින් විකාරයකි. ලිච්ඡවී ප්‍ර‍තිපත්ති මත රට පාලනය කරන බවට පොරොන්දු දුන් පාලකයින් විසින් එම සිසුනට වනචාරී ලෙස පහරදීම අනෙක් අතට ඛේදවාචකයකි.

රටපුරා වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් තම ඉගෙනුමෙන් ඈත් වී දැනට අඩවසරකි. වෛද්‍ය වෘත්තිකයින් තම අනාගත වෘත්තීය ගරුත්වය වෙනුවෙන් ආණ්ඩුවට අවසන් අනතුරු ඇඟවීමද කර තිබේ. මේ පසුබිම යටතේ පාලකයින් සිදුකළ යුත්තේ වෘත්තිකයින්ට අපහාස කිරීම හා අවලාද නැඟීම නවත්වා, සිසුනට තිරිසන් සතුන්ට ලෙස සැලකීම නවත්වා, වහාම අවසන් විසඳුමක් වෙනුවෙන් දෑත් දිගු කිරීමය. සාකච්ඡා මාර්ගයට පිවිසීමය.

මරාගෙන මැරෙන ත්‍ර‍ස්තවාදය සමඟ අවසන් විසඳුම සාකච්ඡා මේසය බව එකල අපට ඒත්තු ගැන්වීමට උත්සාහ ගත්ඇතැම් දේශපාලනඥයින්ට සරසවි සිසුන් මරාගෙන මැරෙන ත්‍ර‍ස්තවාදීන්ටත් වඩා දරුණු පිරිසක් ලෙස පෙනීම තේරුම්ගත හැක්කේ කෙසේද?සෑම ප්‍ර‍ශ්නයකටම විසඳුම කල්මැරීම තම ප්‍ර‍තිපත්තිය කොටගත් ජනාධිපති, අගමැති ප්‍ර‍මුඛ සමස්ත ආණ්ඩුවට මා අවධාරණය කරනුයේ වෛද්‍ය අධ්‍යාපනයේ අනාගතය නිරෝගී කිරීම සඳහා සිසුන්, විශ්වවිද්‍යාල ප්‍ර‍ජාව සහ වෛද්‍යවරුන් සමඟ වහා සාකච්ඡා මේසයේ අසුන් ගන්නා ලෙසයි. ඔබේ ප්‍ර‍මාදය, රටද, අධ්‍යාපනයද, අරාජිකත්වය කරා ගමන් කිරීම ඉක්මන් කරනවා නිසැකය.