ඇමතිගේ චණ්ඩි ප්‍රකාශ ගැන තැකීමක් නෑ

ඇමතිගේ චණ්ඩි ප්‍රකාශ ගැන තැකීමක් නෑ

June 23, 2017   03:47 pm


වැඩවර්ජනයේ නිරත වෛද්‍යවරුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන්නේනම් වැඩවර්ජනය තවත් දැඩි කිරීමට සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

අද (23) කොළඹ පැවති මාධ්‍ය හමුව අවසානයේ මාධ්‍යවේදීන් විසින් නඟන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා කියා සිටියේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා විසින් කරනු ලබන චණ්ඩි ප්‍රකාශ පිළිබඳ තමන් එතරම් තැකීමක් නොකරන බවයි.

වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනය අසාර්ථක බවටද අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර තිබුණු බවත්, එවැනි ප්‍රකාශ කරනු ලැබුවහොත් ඉදිරියේදී දැඩි ක්‍රියා මාර්ග ගැනීමට සිදුවනු ඇති බව ඔහු සඳහන් කළේය.

අද වන විට රාජිත සේනාරත්න යනු රටේ සෞඛ්‍ය අමාත්‍යවරයාද, නැතිනම් සයිටම් බාර අමාත්‍යවරයාද යන්න සැකයක් මතුවන බවත්, එයා දොස්තර කෙනෙකු නොවී දත් දොස්තර කෙනෙකු බැවින් කරුණු හරිහැටි නොදන්නවා විය හැකි බවත් නවීන් ද සොයිසා කියා සිටියේය.

වෛද්‍ය සභාවේ ලියාපදිංචිය නොමැති වෛද්‍යවරයෙක් සිටිය නොහැක්කාක් සේම වෛද්‍ය සභාවේ අනුමැතිය නොමැති වෛද්‍ය විද්‍යාලයක්ද තිබිය නොහැකි බවත්, එසේ ඇත්නම් එය රටේ නීතියට විරුද්ධ බවත්,  ඔවුනට විරුද්ධව රටේ නීතිය ක‍්‍රියාත්මක විය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

 සයිටම් ආයතනයට වෛද්‍ය සභාවේ අනුමැතිය නොමැති නමුත් එයට විරුද්ධව රජය නීතිය ක‍්‍රියාත්මක නොකරන බවත්, එනම් රෝගී ජීවිත අනතුරේ හෙළීම වැළැක්වීමට රජය පියවර ගැනීම පැහැරහරිමින් සිටින බවත් ඔහු කියා සිටියේය.

සයිටම් ආයතනය නිසා මේ රට තුළ ඇතිව ඇති අර්බුදය දැන් අවසන් අදියරට පැමිණ ඇති බවත්, රජය තවදුරටත් මෙම ගැටළුව විසඳීමට කල් නොමරා රටේ ව්‍යාකූල තත්ත්වයක් ඇති නොකර වහාම අවශ්‍ය පියවර ගත යුතුව ඇති බවත් වෛද්‍ය නවීන් ද සොයිසා සඳහන් කළේය.

මෙම ගැටළුව විසඳීම සඳහා අවශ්‍ය ප‍්‍රායෝගික යෝජනා මාලාවක් වෛද්‍ය පීඨාධිපතිවරුන්, වෛද්‍ය පීඨ ආචාර්යය සංගමය හා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පොදු එකඟතාවයෙන් යුතුව මේ වන විට බාරදී ඇති බව ඔහු සිහිපත් කළේය.

එම යෝජනා පහත කරුණු මත පදනම්වන බව ඔහු පෙන්වා දුන්නේය.


1. සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප‍්‍රමිතිය අභියාචනාධිකරණය පෙන්වා දුන් පරිදි වහාම ගැසට් කිරීම හා වෛද්‍ය සභාවේ තාක්ෂණික වාර්තාවට නෛතිකභාවයක් ලබා දීම.

2. උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සයිටම් ආයතනය වෛද්‍ය සභාවේ අනුකූලතා සහතිකය නොලබා ඇති බව අධිකරණයට දැන්වීම.

3.  සයිටම් ආයතනය විසින් තවදුරටත් සිසුන් බඳවා ගැනීම වහාම නැවැත්වීම.

4. මෙම ආයතනය මගින් තවදුරටත් උපාධි ප‍්‍රදානය කිරීම වහාම නතර කිරීම.

5. දැනට මෙම ආයතනය තුළ ඉගෙන ගනු ලබන සිසුන් සඳහා ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිගන්නා විසඳුමක් ලබා දීමට කමිටුවක් පත් කිරීම.
 
අවසානයේදි එය ජනසතු කිරීමක් දක්වා කටයුතු සිදු කළ යුතුය.