විල්පත්තු රක්ෂිත මායිමේ සිදුවන ඉඩම් ඡාවාරම

විල්පත්තු රක්ෂිත මායිමේ සිදුවන ඉඩම් ඡාවාරම

June 22, 2017   12:33 pm

මහා වන සංහාර සිදුකර එළි පෙහෙළි කරමින් ඉඩම් හොර රහසේම අත්පත් කර ගැනිමේ ජාවාරම් පිළිබඳව අද දෙරණ උකුස්සා අවස්ථා රැසකදී තොරතුරු අනාවරණ කර තිබේ.

උකුස්සාගේ මේ අනාවරණය විල්පත්තුව වන රක්ෂිත මායිමේ සිදුවන තවත් එවැනිම ජාවාරමක් පිළිබඳවයි.

විල්පත්තුව ජාතික වනෝද්‍යානය ආසන්නයේ පිහිටි වනාතවිල්ලුව අයිලිය රජයේ රක්ෂිතයට යාබද රජය සතු වන ප්‍රදේශයක් ජාවාරම්කරැවන් පිරිසක් රහසිගතව එළි පෙහෙළි කර ගිනි තබා ඉඩම් අත්පත් කර ගැනිමේ කූට ජාවාරමක නිරත වෙමින් තිබෙන බව අද දෙරණ උකුස්සාට අනාවරණය විය.

ඒ අනුව එහි තොරතුරු සොයා බැලීමට උකුස්සා පසුගියදා එම ප්‍රදේශයට පැමිණියේය.

විල්පත්තුව ජාතික වනෝද්‍යානයට සැතපුම් කිපයක් දුරකින් පිහිටි අයිලිය රක්ෂිතය සුවිශේෂී පරිසර පද්ධතියකින් සමන්විත වන උයනක් වන අතර වන සතුන් රැසකගේ වාසස්ථානයක්ද වී තිබුණි.

කෙසේ නමුත් ප්‍රාදේශීය දේශපාලනඥයින් කිප දෙනෙකුගේ උදව් ඇතිව රහසිගතව ක්‍රියාත්මක වන මේ ඉඩම් අත්පත් කර ගැනිමේ ජාවාරම හේතුවෙන් මේ වනවිට අයිලිය රක්ෂිතය දැඩි විනාශයකට ලක්ව තිබෙන අයුරු උකුස්සාට දැකගත හැකි විය.

ජාවාරම්කරුවන්  මේ වන විටත් වනය තුළ  ඇති පළු ,විර , කොහොඹ , සහ අනිකුත් දැවැන්ත සහ කුඩා ගස් රැසක් වනය තුළම කපා දමා දැව තොග ලෙස රැගෙන ගොස් පසුව වනය එළි පෙහෙළි කර ගිනි තබා වනසා තිබුණේය.

මෙම දැවැන්ත පරිසර හානියට දේශපාලඥයින් කිප දෙනෙකුගේ  මෙන්ම රාජ්‍ය නිළධාරින් කිප දෙනෙකුගේද ආධාර උපකාර රහසිගතව ලැබෙන බව ජනතාව පවසයි.

අයිලිය රක්ෂීතයේ රජයේ ඉඩම් අක්කර 2500 කට ආසන්න ප්‍රමාණයක් ඇති අතර ඉඩම් ජාවාරම්කරුවන් මෙම වනය වැනසීමට අවස්ථා ගනනාවකදි උත්සහ කළත් එය වැළකි ගියේ දිගින් දිගටම සිදුවෙමින් තිබු හානිය එකලද මාධ්‍ය මඟින් හෙළි කිරිම හේතුවෙන්ය.

මෙවැනි විනාශයන් හමුවේ උත්තර බැඳීමට බලධාරීන් අපොහොසත් වුවද නුදුරේදීම අත් විදින අනිටු විපාකයන් ඉදිරියේ ජනතාවට පිළිතුරු දිය යුතු දිනය එළැඹෙන තෙක් උකුස්සා සීරුවෙන්.