චම්පික ප්ලෑන්කාරයෙක් වගේම හොඳ කුමන්ත්‍රණකාරයෙක්

චම්පික ප්ලෑන්කාරයෙක් වගේම හොඳ කුමන්ත්‍රණකාරයෙක්

June 19, 2017   05:42 pm

ඥානසාර හිමියන් පිළිබඳ කතිකාවක් ඇති කොට උන්වහන්සේ අත්අඩංගුවට ගෙන අවසානයේ මීළඟ මැතිවරණයේ අපේක්ෂයෙකු වශයෙන් ඉදිරිපත් වීමට අවස්ථාව හිමි කර දීම අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ අවශ්‍යතාව බවත් මෙනිසා ඔහු ප්ලෑන්කාරයෙක් මෙන්ම ඉතා හොඳ කුමන්ත්‍රණකාරයෙක් බව ද ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා පවසයි.

අද(19) පැවති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවට එක් වෙමින් නානායක්කාර මහතා මේ අදහස් පළ කළේය.

රට තුළ මේ වන විට ජාතිවාදී ප්‍රශ්නයක් නොමැති බවත් සුළු සුළු සිද්ධීන් මතු කරමින් එවැනි තත්ත්වයක් ඇති කරලීමට වත්මන් ආණ්ඩුව කුමන්ත්‍රණය කරන බවත් නානායක්කාර මහතා වැඩි දුරටත් කියා සිටියේය.

පසුගිය මැතිවරණය ළං වෙත්ම අලුත්ගම සිද්ධියක් ඇති කර ඥානසාර හිමියන් එයට මැදිහත් කර මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂපාතීත්වයක් දක්වන බව හැඟවු බවත් එහි ප්‍රතිඵලයක් ලෙස මහින්ද රාජපක්ෂ මහතාට මුස්ලිම් ඡන්ද නොලැබී යැමෙන් පරායට වු බවත් ඒ සියල්ල එක්සත් ජාතික පක්ෂයේ කුමන්ත්‍රණයක් බවත් පැවසීය.

කෙසේ වෙතත් ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සමාජය හමුවේ ඇති ගැටළුන්ගෙන් ගැලවී යාමට ගෙන ඇති එක් පියවරක් බවත් ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීමෙන් පසු උන්වහන්සේට එරෙහි චෝදනා ඔප්පු කිරීමට සාක්ෂි ගොඩනඟා තිබේදැයි ප්‍රශ්නයක් බවත් වාසුදේව නානායක්කාර මහතා තවදුරටත් කියා සිටියේය.