‍නව බදු පනතක් ගෙන එන බව ඉරාන් කියයි

‍නව බදු පනතක් ගෙන එන බව ඉරාන් කියයි

June 19, 2017   03:54 pm

රට තුළ පවතින ව්‍යාපාරයන්ට ස්ථාවරභාවයක් ලබා දීම සඳහා නව බදු ප්‍රතිපත්තියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

අද(19) සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ඉදිරි මාස දෙක තුන තුළ දී මෙම පනත සම්මත කර ගත හැකි වනු ඇති බවත් ඉන් අනතුරුව රජය විසින් එම ප්‍රතිපත්තිය ස්ථාවරත්වයට පත් කරන බවත් අමාත්‍යවරයා පවසයි.

කෙසේ වෙතත් එක් එක් ජන කොටස්වලට වෙන් වෙන් වශයෙන් බදු ප්‍රතිපත්ති බලපාන බවත් ඒ සඳහා සියලු දෙනාගේ කැමැත්ත අවශ්‍ය නොවන බවත් පැවසු අමාත්‍යවරයා පාඩු ලබන රාජ්‍ය ආයතන නඟා සිටු වීමට රජයට දිගින් දිගටම මුදල් යෙදවීමට හැකියාවක් නොමැති නිසා නව ක්‍රියාමාර්ගයන්ට එළඹෙන බවත් මෙම නව වැඩපිළිවෙල යටතේ රාජ්‍ය ආයතන හා පෞද්ගලික අංශය සමඟ එක්ව කටයුතු කිරීමට හා කොටස් වෙළෙඳ පොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් කියා සිටියේය.