කණ්ඩායම් සාර්ථකත්වය ගැන කෝලි කතා කරයි

කණ්ඩායම් සාර්ථකත්වය ගැන කෝලි කතා කරයි

June 18, 2017   12:14 pm

තමා සහ තම කණ්ඩායමට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ එල්ලවන විවිධ විවේචන පිළිබඳ අවධානය යොමුනොකිරීම තම කණ්ඩායමේ සාර්ථකත්වයට විශාල හේතුවක් බව ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලි පවසයි.

ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ පකිස්ථානය අතර අද(18) පැවැත්වීමට නියමිතයි.

කෙසේ වෙතත් විරාත් කෝලි ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායමට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ වැඩි වශයෙන් අපහාසාත්මක ප්‍රකාශ සහ විවිධ විවේචන එල්ල වෙයි.

“ෆේස්බුක්“, “ටිව්ටර්“ ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි තුළ මිලියන 65යි දශම 6ක රසික පදනමක්  සහිත විරාත් කෝලී මේ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය සමඟ අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ තමා සමාජ ජාල වෙබ් අඩවි සඳහා වැඩි අවධානයක් යොමුනොකරන බවයි.

සමාජ ජාල වෙබ් අඩවි හරහා එල්ල වන විවිධ විවේචනවලට සවන්දීමට වැඩි කාලයක් ගත කළහොත් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කිරීමට මෙන්ම කණ්ඩායම මෙහෙයවීමට තමාට අපහසු වනු ඇති බව විරාත් කෝලී ප්‍රකාශ කර තිබේ.

එම විවේචනවලට සවන්නොදීම හේතුවෙන් තම කණ්ඩායම සාර්ථකව මෙහෙයවීමට තමාට හැකි වී ඇති බව කෝලී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.