ශ‍්‍රම හිඟයක් තිබුණත් වාරි ව්‍යාපෘති කඩිනම් කිරීමට සැලසුම්

ශ‍්‍රම හිඟයක් තිබුණත් වාරි ව්‍යාපෘති කඩිනම් කිරීමට සැලසුම්

June 18, 2017   10:39 am

නිලධාරීන්, ඉංජිනේරුවන් ඇතුළු අනෙකුත් අත්‍යාවශ්‍ය සේවා සඳහා ඇති ශ‍්‍රම හිගය වාරි ව්‍යාපෘතිවල ප‍්‍රමාදයට හේතු වී තිබෙන බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා හා අමාත්‍යංශ නිලධාරීන් අතර පැවැති සාකච්ඡාවක දී අනාවරණය වි තිබේ.

මෙහිදී වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කර ඇත්තේ මෙම තත්ත්වය තුළ දිස්ති‍්‍රක්ක කිහිපයක වාරි ව්‍යාපෘතිවල ඉදිකිරීම් සිදු කිරීම ප‍්‍රමාද වී ඇති බවයි. 

මේ අතර කොන්ත‍්‍රාත්කරුවන්ගේ නොගැලපීම් හේතුවෙන් නැවත නැවත ටෙන්ඩර් කැදවීමට ද ඇතැම්විට සිදුවන බවත් ඇතැම් ව්‍යාපෘති ප‍්‍රමාද වීමට එයද හේතුවක් වී ඇති බවත් ඔවුන් ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් ටෙන්ඩර් කැදවීමෙන් පසුව කොන්ත‍්‍රාත් ලබා ගන්නා පුද්ගලයින් පිළිබඳ පසුවිපරම් කිරීමේදී ඔවුන් නොසුදුස්සන් බව තහවුරු වුවහොත් වාරි ව්‍යාපෘති ඉදිකිරීමට ඔවුන් වෙත අවසරය ලබා නොදෙන බවත්, එය ව්‍යාපෘතිවල ගුණාත්මක භාවය වෙනුවෙන්ම ගන්නා වූ කි‍්‍රයාමාර්ගයක් බවත් ඉංජිනේරුවන් පවසයි.

මේ අතර පස්, ගල් හා වැලි සපයා ගැනීමද ඇතැම් අවස්ථාවල ගැටළු මතුකරන කාරණයක් බවත් මෙවැනි තත්ත්වයන් ව්‍යාපෘතිවල ප‍්‍රමාදයට හේතුවන බවත් මෙහිදී වැඩි දුරටත් අනාවරණ විය.