ජල පහරකට හසුවී පුද්ගලයෙක් අතුරුදන්

ජල පහරකට හසුවී පුද්ගලයෙක් අතුරුදන්

May 26, 2017   08:42 am



බෙලිඅත්ත - කහවත්ත ප්‍රදේශයේදී ජල පහරකට හසුවීමෙන් පුද්ගලයෙකු අතුරුදන්වී තිබේ.

මේ අතර නිල්වලා, ගිං, වළවේ, කැළණි සහ කළු ගඟ පිටාර ගැලීම නිසා පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබේ. 

වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඒ අවට පහත් බිම්වල සිටින ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ආරක්ෂිත පියවර ගන්නා ලෙසයි. 

කොළඹ දිස්ත්‍රික්කයේ, පාදුක්ක ප්‍රදේශය ජලයෙන් යටවී ඇති අතර කැළණි ගඟේ ජල මට්ටම ද අවදානම් තත්ත්වයක පවතියි.

මේ නිසා කැළණි ගඟ දෙපස ජනතාවට ද අවශ්‍ය පියවර ගන්නා ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

ගිං ගඟ පිටාර ගැලීම හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ නෙලූව, හබරකඩ සහ මොරවක, යක්කලමුල්ල, ඉමදූව, වල්පොල, තවලම, ආදී ප්‍රදේශ මුළුමනින්ම ජලයෙන් යටවී ඇති බව සඳහන්ය. 

කළුගඟ පිටාර ගැලීමෙන් කළුතර දිස්ත්‍රික්කයේ - පාලින්ද නුවර, බුලත්සිංහල, අගලවත්ත ප්‍රදේශ ද ජලයෙන් යටවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

එමෙන්ම, කිරම ඔය පිටාර ගැලීම නිසා මාතර - කඹුරුපිටිය සහ මුලටියන ප්‍රදේශවල පහත්බිම්වල ජනතාවටද ඉවත් වන ලෙසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී ඇති බව සඳහන්ය.

රත්නපුර දිස්ත්‍රික්කයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ කලවාන, ඇලපාත, අයගම, කිරිඇල්ල සහ ඇහැලියගොඩ යන ප්‍රදේශවලට වැඩි බලපෑම් එල්ල වී තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදාව සහ ගුවන් හමුදාව යොදවා ඇති බවයි. 

දෙනියාය - පල්ලේගම බෝගොඩ කර්මාන්ත ශාලාව අසලදී ටිපර් රථයක ගමන්ගත් පිරිසක් මාර්ගයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් කොටු වී සිටි බව අද දෙරණ වාර්තාකරු පවසයි. 

එම අවස්ථාවේදී මාර්ගයේ ජල මට්ටම අඩි 06 ත් 08 ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබූ බව සඳහන්ය.

එමෙන්ම, වීරකැටිය - තංගල්ල ප්‍රධාන මාර්ගය බැදිගම - මාරගස්හන්දිය ප්‍රදේශයෙන් ඊයේ රාත්‍රියේ ජලයෙන් යට වුණි. 

මේ හේතුවෙන් එම මාර්ගයේ ගමන්ගත් වාහන කිහිපයක් ජල පහරට කොටු වූ අතර, පොලීසිය මැදිහත් වී ඔවුන් බේරාගත් බව වීරකැටිය පොලිසියේ ප්‍රකාශකයෙකු කියා සිටියේය.

පසුගිය පැය 21 ක කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයටය. 

රත්නපුර කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයට වාර්තා වී ඇති එම වර්ෂාපතනය මිලිමීටර් 196 යි දශම 7 ක් බවයි.

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වලට අදත් මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ සඳහන් කළේය.