අද ලෝකයේ බලවත්ම වාණිජ මාධ්‍ය තොරතුරු

අද ලෝකයේ බලවත්ම වාණිජ මාධ්‍ය තොරතුරු

May 22, 2017   10:16 pm



ලෝකය පුරා ලක්ෂ ගණනාවකට රටවල් 150 කට පමණ මහාපරිමාණයෙන් ප‍්‍රහාරයක් සයිබර් අවකාශයේ එල්ල වෙලා තිබෙන බවත් මෙය එක්තරා ආකාරයකට කප්පම් ගැනීමේ කි‍්‍රයාවලියක් ලෙස. හඳුනාගෙන තිබෙන බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා තම ෆේස්බුක් ගිණුමෙහි ප‍්‍රකාශයක් තබමින් සඳහන් කර ඇත.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප‍්‍රකාශ කර තිබුණේ,

 ‘මෙය විශාල බරපතල අනතුරු දායක තත්වයක් බව මේ වන විට තොරතුරු තාක්ෂණ ක්‍ෂෙත‍්‍රයේ සෑම පුද්ගලයෙක්ම, සෑම ආයතනයක්ම පිළිගෙන හමාරයි. වාර්තා වෙන අන්දමට ඇමරිකා එක්සත් ජනපදයේ එන්.එස්.ඒ. ආයතනය විසින් ලෝකයේ වෙනත් රටවල පරිගණක හැකරයන් සමඟ කටයුතු කිරීම සඳහා යොදා ගත් උපාංගයක් පාවිච්චි කරමින් වෙනත් පිරිසක් විසින් මේ සයිබර් ප‍්‍රහාරය එල්ල කර තිබෙන බවයි වාර්තා වෙන්නේ මෙහිදී කරුණු කිහිපයක් වැදගත්.


එකක් තමයි අද ලෝකයේ වැදගත්ම, බලවත්ම වාණිජ මාධ්‍ය බවට පත්  වී තිබෙන්නේ තොරතුරු. කාලයක් තෙල් හා ගෑස්, ගල් අඟුරුවලට හිමිව තිබූ තැන අද තොරතුරුවලට ලැබී තිබෙනවා. අද ලෝකයේ තිබෙන බලගතුම වාණිජ සමාගම් වැඩිම ආදායම් සහිත වැඩිම සම්පත් සහිත ආයතන සියල්ලම ගූගල් වේවා, අයිබීඑම් වේවා, ෆේස් බුක් වේවා, ඒ වගේම ඇමසෝන් වේවා, අලිබබා වේවා මේ සියල්ලම අද ඉහළින්ම වැජඹෙනවා ලෝකයෙ අතීතයේ පැවති තෙල් ගෑස් සමාගම් සහ බැංකුවලට සාපේක්‍ෂව. අපි දන්නවා කාලයක් ෂෙල් සමාගම, බි‍්‍රටිස් පෙට්‍රෝලියම් ආයතනය සහ ඇමරිකා එක්සත් ජනපදය විසින් පාලනය කළ ගෑස් සමාගම් ෂිනෝපෙක් සමාගම් චීනයේ, රුසියාවේ ගෑස් ෆ්‍රොම් ආයතනය, මේවා බලගතු ආයතන විදිහට පැවතුනා. නමුත් දැන් ඒ සියල්ල අභිබවා ඉදිරියට ඇවිත් තිබෙන්නේ තොරතුරු තාක්ෂණ කි‍්‍රයාවලිය. එනිසා ලෝකයේ නවතම, බලගතුම, වාණිජ උපාංගය බවට තොරතුරු තාක්ෂණයත්, ඉලෙක්ට්‍රොනික තාක්ෂණයත් ඒ හා බැඳිච්ච සයිබර් අවකාශයත් පත් වී තිබෙනවා. ඒ නිසා ඒ මහා අවකාශයේ ඇතිවන ගැටුම් කාටවත් නොතකා හරින්න බැහැ.


තෙල් හා ගෑස්  පිළිබඳව ඇතිවෙච්ච අරගලය අද දක්වා ලෝකය පුරා භයානක යුද්ධ ගනණාවකට මුල පුරා තිබෙනවා. සෞදි අරාබිය, ලිබියාව, ඉරාකය, සිරියාව ආදී රටවල් හරහා වෙලි පැතිරී ගොස් තිබෙන යුධ ගැටුම්වල ප‍්‍රධානම සාධකය වී තිබෙන්නේ තෙල් හා ගෑස්. එසේ නම් අනාගතයේ තොරතුරු තාක්ෂණය පදනම් කර ගත් යුධ ගැටුම් ආදියට ලෝකය යොමුවෙයි ද කියන ගැටළුව මේ මහා හැකර් ප‍්‍රහාරයෙන් වාර්තා වෙනවා. ඒ වගේම අනෙක් වැදගත් කාරණය තමයි ඒ ඒ රටවල් මෙයට මුහුණ දෙන්නේ කොහොමද කියන එක. මෝටර් සයිකලය නිෂ්පාදනය කළ අවස්ථාවේදී අනතුරු වලක්වා ගැනීම සඳහා හෙල්මට් යොදා ගැනීමට හැකි වුණා. ඒ වගේම මෝටර් රථය අනතුරුවලට ලක්වෙනකොට සීට් බෙල්ට් ආදිය පාවිච්චි කරලා ආරක්‍ෂණ උපාංග හඳුන්වා දුන්නා. අනාගතයේ පරිගණක වලටත් අත්‍යවශ්‍යයෙන්ම මේ සීට් බෙල්ට් එකයි හෙල්මට් එකයි එනම්,  ආරක්‍ෂක උපාංග අවශ්‍යම වෙනවා. එසේ නොවුනහොත් මේ පරිගණක ලෝකය බිඳ වැටෙන්න නියමිතයි. දැනටමත්   බොහෝ සමාගම්, තානාපති කාර්යාලය පැරණි ටයිප් රයිටරයට ආපසු ගොස් තිබෙනවා, තමන්ගේ රහස්‍යභාවය ආරක්‍ෂා කර ගැනීම සඳහා.


ඒ නිසා නිදහස් ලෝකයේ ඇතිවෙච්ච මේ සයිබර් අවකාශය අද එක් අතකින් භයානක අපරාධකරුවන්ගේ කෙළිමඩලක් බවට පරිවර්ථනය වෙමින් තිබෙනවා. ඉලෙක්ට්‍රොනික යුද්ධයක් සඳහා වන වටපිටාවක් ඒ මත ගොඩනැගී තිබෙනවා.


මේ මෑතදී ශ‍්‍රී ලංකාවේ ත‍්‍රස්තවිරෝධි අණපනත් වෙනස් කිරීමේ උත්සාහයක් දැරුණා. එහිදීත් ප‍්‍රධාන වශයෙන්ම අවධානය යොමු විය යුතුයැයි අප විසින් කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නේ මේ ඉලෙක්ට්‍රොනික යුද්ධයයි. අනාගත යුද්ධය ඇති වෙන්නේ මහපොළවේ සිදුවන කාලතුවක්කු හා වෙනත් අවි ආයුධවලින් නෙවෙයි විශේෂයෙන්ම අපේ තරංග ක්‍ෂෙත‍්‍රයේ, එනම් ප‍්‍රීකුවින්ස් ෆැක්ට‍්‍රම් එකේ ඇතිවන මහා යුද්ධයක් ලෙසයි එන්නේ. එනිසා විවිධාකාරයේ අනාගතයේ සිදුවන ඉලෙක්ට්‍රොනික යුද්ධයෙන් රට ආරක්‍ෂාකර ගැනීමට අපි වග බලාගත යුතුයි. ඒක එක පැත්තකින් නීතිමය ආකාරයටත්, අනෙක් පැතිවන තාක්ෂණික ආකාරයටත්, සදාචාරමය ආකාරටයත් මේ පද්ධති විධිමත්ව පාවිච්චි කිරීමත්, සමාජ යහපත සඳහා පාවිච්චි කිරීමත්, මේ පද්ධතිවලට එල්ලවන ප‍්‍රහාරයන්ගෙන් ආරක්‍ෂා කර ගැනීමත් අත්‍යවශ්‍ය වෙනවා.


වාහනවලට සීට් බෙල්ට්, බැලූන යොදා ගත්තා වගේ, මෝටර් සයිකලය පදවන්නන් ග්ලවුස් සහ හෙල්මට් දැම්මා වගේ පරිගණකවලටත් නව ආරක්‍ෂක උපාංග මේ මහා හැකර් ප‍්‍රහාරවලින් ගැලවීමට අත්‍යාවශ්‍ය  යුගයකට අපි පැමිණ තිබෙනවා. අනාගත යුද්ධය ඉලෙක්ට්‍රොනික යුද්ධයක්. එය සයිබර් අවකාශයේ වඩාත් විස්තරාත්මකව ප‍්‍රකාශ කරනවා නම් තරංග ක්‍ෂෙත‍්‍රයේ සිදුවන යුද්ධයක්. ඒ සඳහා අපේ රටත් සුමට යුගයකට, සුහුරු යුගයකට ගමන් කොට ඒ සඳහා සූදානම් කළ යුතු වෙනවා.’