මෙරටට ආනයනය කරන තවත් මත්ද්‍රව්‍යයක් කොටු වෙයි

මෙරටට ආනයනය කරන තවත් මත්ද්‍රව්‍යයක් කොටු වෙයි

May 22, 2017   02:58 pm

ශ්‍රී ලංකාවේ තරුණ පරපුර විනාශකරන මත්ද්‍රව්‍යය ජාවාරම් පිළිබඳව අද දෙරණ උකුස්සා අවස්ථා කිහිපයකදීම රට හමුවේ අනාවරණ කළේය.

අද උකුස්සාගේ අනාවරණය වන්නේ විදේශ රටවලින් මෙරටට ආනයනය කරන ක්‍රිස්ටල් මෙත් නැමති මත්ද්‍රව්‍යය ජාවාරම මෙරට තුළ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳවයි.

ඉන්දියාවේ සිට මෙරටට ගුවන් මඟින් රැගෙන එනු ලබන ක්‍රිස්ටල් මෙත් හෙවත් අයිස් නැමැති මත්ද්‍රව්‍යය ජාවරමක් වත්තල ඇළකන්ද ප්‍රදේශයේ සිදු කරගෙන යන බවට ලද තොරතුරකට අනුව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරන් සමඟින් අද දෙරණ උකුස්සා එම ප්‍රදේශයට රහසිගතව ළඟා විය.

එහිදී උකුස්සා දුරකථන මාර්ගයෙන් පළමුව ජාවාරම සිදුකරන කාන්තාවක් සම්බන්ධකර ගැනීමෙන් අනතුරුව ඇයගෙන් අයිස් නැමැති මත්ද්‍රව්‍යය මිලදී ගැනීමට අවශ්‍ය බව පවසමින් ඇයව හමු වීමට පැමිණියේය.

අනතුරුව ක්‍රියාත්මක වූ සුරාබදු නිලධාරීන් ඇය අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇය සතුව තිබී අදාළ මත්ද්‍රව්‍යය තොගයක් සොයා ගනු ලැබීය.

පසුව එම කාන්තාවගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණ වුණේ මෙම ජාවාරමේ නිරත තවත් කාන්තාවක් වත්තල ඇළකන්ද බලගල ප්‍රදේශයේ සිටින බවයි

ඇයගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී වැදගත් කරුණු රැසක් අනාවරණ කරගැනීමට උකුස්සාට හැකි විය.

පසුව වත්තල ඇළකන්ද බලගල ප්‍රදේශයේ සිටින කාන්තාව, අත්අඩංගුවට ගත් කාන්තාව මාර්ගයෙන් සම්බන්ධ කරගැනීමෙන් පසුව ඇයවද අත්අඩංගුවට ගනු ලැබීය.

ඇය සතුවද තිබී තවත් අයිස් නැමැති මත්ද්‍රව්‍යය විශාල ප්‍රමාණයක් සොයා ගත්තේය.

මෙහිදී අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා සතුව තිබී ක්‍රිස්ටල් මෙත් හෙවත් අයිස් නැමැති මත්ද්‍රව්‍යය ග්‍රෑම් 200ට අධික ප්‍රමාණයක් සොයා ගත්තේය.

ඉදිරියේදීත් තරුණ පරපුරට වින කරන මෙවැනිම ජාවරම් පිළිබඳව රට හමුවේ අනාවරණ කිරීමට අද දෙරණ උකුස්සා විමසිල්ලෙන් පසු වෙනු ඇත.