ඉන්දීය ධීවර යාත්‍රා කොන්දේසි සහිතව නිදහස් කරන්න එකඟවෙයි

ඉන්දීය ධීවර යාත්‍රා කොන්දේසි සහිතව නිදහස් කරන්න එකඟවෙයි

May 21, 2017   11:21 am



මෙරට භාරයේ ඇති ඉන්දීය ධීවර යාත්‍රා කොන්දේසි සහිතව නිදහස් කිරීමට උතුරේ ධීවර ප්‍රජාව එකඟතාව පළ කර තිබේ.

මේ වන විට ඉන්දීය ධීවර යාත්‍රා 140ක් පමණ මෙරට බාරයේ ඇති අතර ඒවා නිදහස් කරන ලෙස ඉන්දීය රජය අවස්ථා කිහිපයකදී ඉල්ලීම් කර තිබුණි.
 
අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් උතුරේ ධීවර ප්‍රජාවගෙන් කරුණු විමසීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය පියවර ගනු ලැබීය.

ඒ අනුව ඔවුන් ලිඛිතව හා වාචිකව දැනුම් දී ඇත්තේ අදාළ ඉන්දීය ධීවර යාත්‍රා  කොන්දේසි සහිතව නිදහස් කිරීමට එකඟතාව පළ කරන බවයි.

 නිදහස් කරනු ලබන ධීවර යාත්‍රා නැවත මෙරට මුහුදු සීමාවට ඇතුළු නොවන බවට සහතිකයක් නිකුත් කිරීම, මෙරට බාරයට පත් පිළිවෙළට ධීවර යාත්‍රා නිදහස් කිරීම ඇතුළු කොන්දේසි කිහිපයක් උතුරේ ධීවර ප්‍රජාව විසින් ලබා දී තිබේ.

අදාළ කොන්දේසි මේ වන විට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය  මහින්ද අමරවීර මහතා විසින් ඉන්දීය රජයට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත් අදාළ කොන්දේසි සම්බන්ධයෙන් ඉන්දීය රජයේ ස්ථාවරය මෙතෙක් දැනුම් දී නොමැති බව සඳහන්ය.

අදාළ කොන්දේසිවලට එකඟ වන්නේ නම් පළමුව 2015 වසරේ දී මෙරට බාරයට පත්වු ඉන්දීය ධීවර යාත්‍රා  42ක් නිදහස් කිරීමට නියමිතය.