ඇමතිවරයෙකුගේ වාහනයකට වැය වන්නේ ලක්ෂ 75යි

ඇමතිවරයෙකුගේ වාහනයකට වැය වන්නේ ලක්ෂ 75යි

May 19, 2017   09:29 pm




රජයේ ඇමතිවරුන්ගේ නිල භාවිතය සඳහා ගෙන්වන වාහන සඳහා වැය වන්නේ එක් වාහනයකට රු. ලක්ෂ 75ක මුදලක් පමණක් වන බව ප්‍රාථමික කර්මාන්ත ඇමති දයා ගමගේ මහතා පවසයි.

එම වාහනයක් සඳහා රු. ලක්ෂ 450ක් වියදම් වන බවට වන සාවද්‍ය මතයක් සමාජගත කර ඇතැයි ඔහු කියා සිටියේ සිරිකොත දී පැවති එජාප මාධ්‍ය හමුවක් අමතමිනි.

බදු වශයෙන් අය කෙරෙන රු. ලක්ෂ 375ක මුදල භාණ්ඩාගාරයට යැවෙන බවත් හෙතෙම කියා සිටියේය.

පසුගිය රජය සමයේදී සිදු කළ ආකාරයට මෙම වාහන සඳහා රජයේ මුදල් අමතරව වැය කිරීමක් සිදු නොකොට අදාළ ඇමතිවරයාගේ අමාත්‍යංශයට සපයා ඇති ප්‍රතිපාදනවලින් වාහනය මිල දී ගැනීම සිදු වන බව ද ගමගේ මහතා කීය.

මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසූයේ, මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රය නවීකරණය කොට, කෘෂි නිෂ්පාදනවල අගය දාමය ඉහළ දැමීම සඳහා ලෝක බැංකුව සමඟ එක්ව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි.

ඒ යටතේ දේශීය ව්‍යවසායකයින්ට ආයෝජන අවස්ථා උදා කර දී, අවශ්‍ය දැනුම, මූල්‍යාධාර හා නිෂ්පාදන වෙළෙඳපොලක් ලබා දී, ඔවුන් දිරි ගැන්වීම ද සිදු කෙරෙන බව හෙතෙම කීය.

එපමණක් නොව ඒ හරහා රැකියා අවස්ථා 150,000ක් පමණ බිහි කිරීමට ද හැකි වනු ඇතැයි ඇමතිවරයා පැවසීය.