තරුණ ජිවිත බිලිගත් මත්පෙති ඡාවාරම

තරුණ ජිවිත බිලිගත් මත්පෙති ඡාවාරම

May 18, 2017   03:58 pm

තරුණ ජීවිතවල අනාගතය බිලිගන්නා මත්පෙති ජාවාරම සහ ඊට අනුබදල දෙන පුද්ගලයින් සම්බන්ධයෙන් මේ දිනවල වැඩි කතාබහක් පවතියි.

මෙවැනි ජාවාරම් පිළිබඳව අවස්ථා රැසකදී තොරතුරු අනාවරණ කළ අද දෙරණ උකුස්සාට අද වාර්තා කරන්නේ මෑත ඉතිහාසයේ වැඩිම මත්පෙති තොගය නීතියේ රැහැනට හසුකරගත් ආකාරයයි.

මෙම පෙති රාත්‍රී සමාජශාලා සහ බොහෝ පාසල් ආශ්‍රතව ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ඩාන්සිං ටැබ්ලට් යන නමින් යැයි වාර්තා වෙයි.

එක්ට්රසි නමින් රටට හොර රහසේ ආනයනය කරන මෙම පෙති රට පුරා කෙතරම් ජනප්‍රිය වී ඇත්දැයි යන්න තහවුරු වන්නේ ඒ සඳහා පවතින අධික ඉල්ලුම පිළිබඳව අවධානය යොමු කිරීමේ දීය.

මෙම පෙති තොග වශයෙන් බෙදා හරින ජාවාරම්කරුවකු සම්බන්ධයෙන් ලද තොරතුරකට අදාළව කොළඹ සුරා බදු ඒකකය උකුස්සාද දැනුවත් කරනුයේ මෙවැනි ජාවාරම් මැඩලිමේ අවස්ථා රටට ද අනාවරණය කිරීමේ අදහසිනි.

ඒ අනුව අද දෙරණ උකුස්සා උපාය දූතයෙකු ද සමඟින් නුගේගොඩ ගුවන් පාලම අසළට පසුගිය දා රහසිගතව ළඟා විය.

කලින් සැළසුම් කර ගත් පරිදි එහිදී මත්පෙති අලෙවිකරන්නා දුරකථනය ඔස්සේ සම්බන්ධකරගෙන සූක්ෂ්ම ලෙස අදාළ ස්ථානයට ගෙන්වා ගනු ලබන්නේ මත්පෙති මිලදී ගැනීමට අවශ්‍ය බව පවසමිනි.

මෙලෙස සුඛෝපභෝගී රියෙහි පැමිණි සැකකරු අත්අඩංගුවට පත්වීමෙන් පසු සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් ඔහුගේ සුඛෝපබෝගී රථය ද  පරීක්ෂා කළේය.

සැකකරු සතුව තිබී මත්පෙති 1676ක් සුරාබදු නිලධාරීන් භාරයට ගත් අතර එම තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 70කට අසාන්න වෙයි.

පසුව කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණ වුණේ මොහු පෞද්ගලික ආයතනයක මෘදුකාංග ඉංජිනේරුවෙක් බවත් කලක පටන් මෙම ජාවාරමෙහි නිරතව සිටින බවයි.

මෙවැනි ජාවාරම් පිළිබඳ තවත් තොරතුරු රටට වාර්තා කිරීමට උකුස්සා නිරන්තරයෙන් පෙනී සිටියි.