පාසල් දෙවන වාරය අදින් අරඹයි

පාසල් දෙවන වාරය අදින් අරඹයි

April 26, 2017   08:16 am

2017 වර්ෂය සඳහා දෙවන පාසල් වාරය අදින් ආරම්භ වෙයි.

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් මේ මස පස් වනදා (05) රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය අවසන් වුයේය.

මුස්ලිම් පාසල් සඳහා දෙවන පාසල් වාරය මේ මස 19 වනදා ආරම්භ විය.

මේ අතර මීතොටමුල්ල ඛේදවාචකයෙන් විපතට පත් ජනතාව රැඳී සිටින ටෙරන්ස් එන්.ද සිල්වා මහා විද්‍යාලය හා ජනතා පැමිණිළි සටහන් කරගැනීම සඳහා භාවිත කළ මීතොටමුල්ල රාහුල විද්‍යාලය, ආරම්භ කිරීම සඳහා මේ වන තෙක් සූදානම් කර නොමැති බව බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය ශ්‍රී ලාල් නෝනිස් මහතා පැවසුවේ ය.

අද දෙරණ කළ විමසීමකදී කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කණ්නංගර මහතා පැවසුවේ ටෙරන්ස් එන්. ද සිල්වා මහා විද්‍යාලයේ රැඳී සිටින පිරිස් එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවයි.

හෙට (27) දිනයේ ටෙරන්ස් එන්. ද සිල්වා මහා විද්‍යාලය පිරිසිදු කිරීමේ කටයුතු සිදුකර අනිද්දා (28) පාසල ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ඔහු පැවසුවේය.

මේ අතර මීතොටමුල්ල රාහුල විද්‍යාලය අවදානම් කලාපයේ නොපවතින නමුත් එම පාසල පවත්වාගෙන යන්නේද නැද්ද පිළිබඳව, බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් තීරණය කළ යුතුව පවතින බව සුනිල් කණ්නංගර මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.