27 දා උතුරු/නැගෙනහිර හර්තාල් - ඒත් සංවිධායකයින් නෑ

27 දා උතුරු/නැගෙනහිර හර්තාල් - ඒත් සංවිධායකයින් නෑ

April 25, 2017   11:42 am


උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධව එළඹෙන 27 වන දින මහා හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වීමට නියමිතව තිබේ.

අතුරුදහන් වූවන් සොයාදෙන ලෙස ඉල්ලමින්  කිලිනොච්චියේ පැවැත්වෙන සත්‍යග්‍රහයට අදට (25)  දින 65 ක් වන අතර කිලිනොච්චියේ පන්නන්කණ්ඩි ප්‍රදේශයේ ඉඩම් අයිතිය ලබාදෙන ලෙස ඉල්ලමින් සිදුකරන සත්‍යග්‍රහයට අදට දින 35 කි.

  විල්පත්තු සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලා මරිච්චිකට්ටි ප්‍රදේශයේ පැවැත්වෙන සත්‍යග්‍රහයට දින ගණනාවක් ගෙවී ඇති අතර අතුරුදහන් වූවන් සොයාදෙන ලෙස වව්නියාවේ ජනතාව විසින් පවත්වන සත්‍යග්‍රහයට අදට දින 61කි.

මීට අමතරව උතුරු නැගෙනහිර උපාධිධාරීන්ට  රැකියා ලබාදෙන ලෙස ඉල්ලමින් නැගෙනහිර පළාත් උපාධිධාරීන් විසින්  මඩකළපුව ප්‍රදේශයේ පවත්වන විරෝධතා ව්‍යාපාරයට අදට දින 63ක් ගෙවී තිබේ.

මෙම විරෝධතා ඒකාබද්ධ කරමින් අප්‍රේල්  27 වන දින උතුරු නැගෙනහිර පළාත් සම්පූර්ණයෙන් ආවරණය වන පරිදි හර්තාල් ව්‍යාපාරයක් දියත් කිරීමට නියමිත අතර ඊට ද්‍රවිඩ මහජන සභාව, ද්‍රවිඩ ජාතික සන්ධානය, සමස්ත ලංකා ජනතා කොංග්‍රසය එක්වීමට නියමිතය.

මෙම හර්තාල් ව්‍යාපාරය ‘ද්‍රවිඩ මහජන සභාව ‘ විසින් සංවිධානය කරන බව කියනු ලැබුවද,  අද දෙරණ කළ විමසුකට ප්‍රතිචාර දක්වමින් ද්‍රවිඩ මහජන සභාව වෙනුවෙන් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා කියා සිටියේ තමන් මෙම හර්තාලයට සහය දෙන නමුත් සංවිධාන කටයුතු තම සංවිධානය විසින් සිදුනොකරන බවයි.

සමස්ත ලංකා ජනතා කොංග්‍රසයේ නායක, අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාගේ මාධ්‍ය අංශයෙන්  අද දෙරණ කළ විමසුමකදී ඔහු කියා සිටියේ මෙම හර්තාල් ව්‍යාපාරයට තම පක්ෂයද සහය දැක්වමින් සහභාගිවීමට තීරණය කර ඇති බවයි.

මෙම හර්තාල් ව්‍යාපාරය ද්‍රවිඩ ජාතික සන්ධානය විසින් සංවිධානය කරන බව බදියුදීන් අමාත්‍යවරයා කියා සිටි අතර එකඟවිය හැකි කරුණු කාරණා බොහොමයක් ඇති බැවින් තමන් ඊට නොපැකිළිව සහය පළකරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එසේ වුවද, අද දෙරණ කළ විමසුකට ප්‍රතිචාර දක්වමින් ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. සුමන්දිරන් මහතා ප්‍රකාශ කරනු ලැබුවේ අප්‍රේල් 27 වන දින පැවැත්වෙන හර්තාල් ව්‍යාපාරය සංවිධානය කිරීම, ද්‍රවිඩ ජාතික සන්ධානය විසින් සිදුනොකරන බවයි.

එහෙත් එම හර්තාල් ව්‍යාපාරයට එක්වීමට ද්‍රවිඩ ජාතික සන්ධානයද, තීරණය කර ඇති බව සුමන්දිරන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

උතුරේ අතුරුදහන්වූවන්ගේ ගැටළුවට විසඳුම් ලබාදෙන ලෙසට හා ආරක්ෂක අංශ සතු සිවිල් වැසියන්ගේ ඉඩම් නිදහස් කරන ලෙසට ඉල්ලීම් කරමින් එළැඹෙන 27 වැනිදා පැවැත්වීමට නියමිත හර්තාල් වැඩසටහන වෙනුවෙන් සහයෝගය පළ කිරීම ඉදිරියේදි දැනුම්දෙන බැව් වවුනියාව වෙළෙඳ සංගමය පවසයි.

අද දෙරණ වාර්තාකරු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් වවුනියාව වෙළඳ සංගමය පැවසූවේ 27 වැනිදා හර්තාලයක් පැවැත්වුවහොත් තම ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් දිගු නිවාඩුවක් ලබාදීමට සිදුවන බවයි.

මැයි 01 වැනිදා නිවාඩු දිනයක් වන බැවින් 27 වැනිදා හර්තාලය පැවැත්වුවහොත් සේවකයින් 28 වැනිදා නිවාඩු දමා 28,29,30 හා 01 වැනිදාද නිවාඩු ලබා ගැනීමට ඉල්ලා ඇති බැවින් අදාළ ගැටළුව උද්ගත වන බැව්ද ව්‍යාපාරිකයින් පැවසූහ.

වවුනියාව වෙළඳ සංගමය පැවසූවේ උතුරු නැගෙනහිර වෙළෙඳ සංගම් සිල්ලම හර්තාලයට සහයෝගය පළ කළ හොත් තමන්ද හර්තාලයට සහයෝගය පළ කරන බවයි.

කෙසේවෙතත් වවුනියාව දිස්ත‍්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූවේ හර්තාලයට සහයෝගය පළ කරන ලෙස වවුනියාව වෙළඳ සංගමයෙන් තමන් ඉල්ලීම් කළ බවයි.