මහාසූපවංශය එළිදකි

මහාසූපවංශය එළිදකි

April 25, 2017   08:25 am

ජ්‍යෙෂ්ඨ සූපවේදී දේශබන්දු ආචාර්ය පබිලිස් සිල්වා මහතා විසින් සම්පාදනය කරන ලද මහාසූපවංශය ග්‍රන්ථය ජනගත කිරීම සිදුකර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකදී මහාසූපවංශය ග්‍රන්ථය ජනගත කිරිම සිදුකර ඇති බව වාර්තා වෙයි.

පබිලිස් සිල්වා මහතා විසින් වසර 40ක් පුරා සිදුකරන ලද පර්යේෂණයක හා අධ්‍යයනයක ප්‍රතිඵලයක් ලෙස දේශීය ආහාරයේ රස ගුණ සහ ඔසුගුණ කැටි කරගනිමින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර තිබේ.

පිටු දහසකින් සමන්විත මෙම ග්‍රන්ථය තුළින් මෙරටට ආවේනික ආහාරමය ශාක, පළතුරු, අලවර්ග, එළවළු වර්ග 1450ක් පමණ හදුන්වාදී තිබීම විශේෂත්වයක් බව සඳහන් වෙයි.

ග්‍රන්ථයේ මුල් පිටපත පබිලිස් සිල්වා මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

අස්ගිරි පාර්ශවයේ මහනායක අති පුජ්‍ය වරකාගොඩ ඥානරතන නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහාසංඝරත්නය ද අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපානන් ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් ඇතුළු මැති ඇමතිවරුන් සහ විද්වත් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියේය.

මහාසූපවංශය ග්‍රන්ථය ජනගත කිරීමේ උත්සවය අමතමින් ආචාර්ය පබිලිස් සිල්වා මහතා ද මේ පිළිබඳයෙන් තම අදහස් ප්‍රකාශ කළේ ය.