කුඩා ජල විදුලි බලාගාර වලින් නිපදවන විදුලිබලය ගැන සාකච්ඡාවක්

කුඩා ජල විදුලි බලාගාර වලින් නිපදවන විදුලිබලය ගැන සාකච්ඡාවක්

April 21, 2017   01:33 pm



කුඩා ජල විදුලි බලාගාර ආශ්‍රිතව සිදු කෙරෙන පුනර්ජනනිය විදුලිබල නිෂ්පාදනය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.

 ජනාධිපති කාර්යාලයේ දී පැවැති මෙම සාකච්ඡාව සඳහා කුඩා පරිමාන ජල විදුලි බල සංවර්ධකයින්ගේ සංගමයේ සාමාජිකයින් පිරිසක් ඇතුළු නිලධාරින් සහභාගී සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

 මේ වන  විටත් දේශිය කුඩා ජල විදුලි බලාගාර පද්ධතිය ඔස්සේ ජාතික විදුලිබල පද්ධතියට එකතුවන මෙගාවොට් 340ක ධාරිතාව මෙගාවොට් 550ක් දක්වා වර්ධනය කිරිම සඳහා පවතින ඉඩ ප්‍රස්ථා හඳුනා ගැනීම පිළීබඳ මෙහිදී අවධානය යොමු වී තිබේ.

දේශිය ජල විදුලි බලාගාර සංවර්ධකයින් අදාළ ක්ෂේත්‍රයේ සංවර්ධන කටයුතුවලදී එල්ල වන අභියෝග, පාරිසරික සමතුලිතතාව රැකෙන අයුරින් සංවර්ධන කටයුතු සිදු කිරිම සඳහා නව ක්‍රමවේද හඳුනාගැනීම වැනි කරුණු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ බව සඳහන්වේ.

එහිදී අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කර ඇත්තේ කුඩා ජල විදුලි බලාගාර සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී නවීන තාක්ෂණය ඒ සඳහා උපයෝගි කර ගත යුතු බවය.

ගැටළු ඇති ව්‍යාපෘති හඳුනාගෙන අදාළ රාජ්‍ය ආයතනවල වෙනම කමිටු පත් කර ගනිමින් එම ගැටළු විසදීමට පියවර ගත යුතු බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.