මීතොටමුල්ල නායයෑම ගැන සොයන්න අද ජපානයෙන් එයි

මීතොටමුල්ල නායයෑම ගැන සොයන්න අද ජපානයෙන් එයි

April 20, 2017   08:56 am


මීතොටමුල්ල කසළ කන්ද නාය යෑමේ සිද්ධිය පිළිබඳ සොයාබැලීම සඳහා ජපානයේ විශේෂ තාක්ෂණික කණ්ඩායමක් අද(20)  දිනයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා මහතා සඳහන් කළේ මීතොටමුල්ල කසළ කන්ද නායයෑම පිළිබඳව විද්‍යාත්මක පරීක්ෂණයක් අදාළ කණ්ඩායම විසින් සිදුකිරීමට නියමිත බවයි.

ජපාන අග්‍රමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මෙම විශේෂ නියෝජිත කණ්ඩායම ශ්‍රී ලංකාවට එවීමට පියවර ගෙන  තිබේ.

ඔවුන් විසින් කසළ  කන්ද නායයෑම පිළිබඳ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක්ද සකස් කිරීමට නියමිත බව ජපාන තානාපතිවරයා සඳහන් කළේය.

කසළ කන්ද නායයෑමෙන් විපතට පත්වූ ජනතාවට සහන සැලසීම සඳහා ජපාන රජය විසින් ලබාදුන් ආධාර, ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා වෙත පරිත්‍යාග කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා මේ බව සඳහන් කළේය.

ටෙන්ට්, ජල පවිත්‍ර උපකරණ, ජෙනරේටර, ජංගම වැසිකිලි, ලාම්පු, අන්තරාදායක වායු හඳුනාගැනීමෙ උපකරණ ඇතුළු භාණ්ඩ තොගයක් ඊයේ පස්වරුවේ ආපදා කළමනාකරණ අමාත්‍යවරයා වෙත භාරදෙනු ලැබීය.

මේ අතර මීතොටමුල්ල කසළ කන්ද නායයෑමෙන් හානියට පත් නිවාස පිළිබඳ නාම ලේඛනය සකස් කිරීමේ කටයුතු මේ  වන විට අවසන් අදියරට පැමිණ ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නංගර මහතා පවසයි.

අද දිනය තුළ එම නාම ලේඛනය සකස්කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කළේය.

අනතුරුව එහි ගැටළු පිළිබඳව සොයා බලා ප්‍රමුඛතාවය අනුව නිවාස ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බව සුනිල් කන්නංගර මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් මේ වන විට නිවාස සියයකට ආසන්න ප්‍රමාණයක් හානියට පත්ව ඇති බවට තොරතුරු ලැබී ඇති  බව වාර්තා වෙයි.

මීතොටමුල්ල කසළ කන්ද නායයෑමෙන් අතුරුදන් වූ පුද්ගලයින් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව අද දිනය තුළත් ක්‍රියාත්මක කරන බව යුද හමුදාව පවසයි.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ මේ වන විට කුඩා ළමුන් 08 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 32කුගේ සිරුරු සොයාගෙන ඇති බවයි.