මීතොටමුල්ලෙන් එන සෞඛ්‍ය තර්ජන ගැන විමසිලිමත් විය යුතුයි

මීතොටමුල්ලෙන් එන සෞඛ්‍ය තර්ජන ගැන විමසිලිමත් විය යුතුයි

April 20, 2017   06:57 am


මීතොටමුල්ල කුණු කන්ද නායයාම හේතුවෙන් දීර්ඝ කාලීන සහ කෙටි කාලීන සෞඛ්‍ය  තර්ජන එල්ල වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මෙසේද කියා සිටියි.

වැසිකිළි වලට හානි සිදුවීම නිසා ජල පෝෂක ප්‍රදේශ දුෂණය වී ඇති බවට මේ වන විට හඳුනාගෙන තිබෙනවා.මෙම තත්ත්වය හේතුවෙන් මීතොටමුල්ල අවට වගා කරන පලා වර්ග සහ පළතුරු ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුයි.

මැස්සන්, කැරපොත්තක් සහ මීයන් වැනි සතුන්ගේ වාසස්ථාන අහිමි වීම සහ එම සතුන්ගේ බෝ වීම මේ සමගම ඉහළ යාමට ඉඩ ඇති බැවින් එම සතුන් මිනිසුන්ගේ වාසස්ථාන වෙත පැමිණීමෙන් සෞඛ්‍යය තර්ජන එල්ලවීමට ඉඩ තියෙනවා. කෙටි කාලීන චර්ම රෝග පැතිර යාමට ඉඩ ඇති බැවින් ඒ සම්බන්ධයෙන්ද   අවධානය යොමු කළ යුතු වනවා.

එමෙන්ම කුණු කන්දේ තිබූ ප්ලාස්ටික් සහ පොලිතීන් ජල පෝෂක වලට එකතු  වීම හේතුවෙන් දීර්ඝ කාලීන සෞඛ්‍යය ප්‍රශ්න ඇති වීමට ඉඩ තිබෙනවා. එමෙන්ම කසළ  කන්දේ තිබුණු විවිධ රසායණික ද්‍රව්‍යය සහ ලෝහ වර්ග නිසාද, කුණු කන්ද නායා යාම නිසා සිදුවිය හැකි රසායණික වෙනස් වීම් නිසාද දීර්ඝ කාලීන විවිධ සෞඛ්‍යය ගැටළුකාරී තත්ත්වයන් ඇති වීමට ඉඩ ඇති  බව අපගේ විශ්වාසයයි.

මෙම තත්ත්වය නිසා මීතොටමුල්  කුණු කන්ද ආශ්‍රිතව ගලා යන ජලය පෑගීමෙන් වළකින ලෙසත්, ප්‍රදේශයේ ඇති ජල ප්‍රබෝධ වලින් පානය සදහා ජලය ලබා නොගන්නා ලෙසත් අපි මහජනතාවගෙන් විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා.
එමෙන්ම ජලාශ වලට මී මුත්‍රා එකතු වීම නිසා මී උණ රෝගය පැතිර යාමට ඉඩ ඇති බැවින් ජලය එකතු වී ඇති ස්ථාන වල ඇවිදීමෙන් වළකින ලෙසත්, පහත් බිම්වල වගා  කර ඇති එළවළු,පළතුරු සහ විශේෂයෙන්ම පලා වර්ග අහාරයට ගැනීමෙන් වළකින ලෙසත් ඉල්ලීමක් කරන්න කැමතියි.

දැනට අවතැන් වූවන් තාවකාලිකව පදිංචි කර ඇති ස්ථාන වල සෞඛ්‍යය තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් අපි මහජනතාවගෙන් විශේෂ ඉල්ලමක් කරනවා. යම් චර්ම රෝග තත්ත්වයක්, අසාමාන්‍යය උණක් හෝ වෙනත් රෝග තත්ත්වයක් ඇති විය හැකි බවට සැකකරන්නේ නම් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙසත් මීතොටමුල්ල අවට පදිංචිකරුවන්ගෙන් අපි විශේෂ ඉල්ලීමක් කරනවා.