ව්‍යාජ රියදුරු බලපත්‍ර ඡාවාරමක් වටලයි

ව්‍යාජ රියදුරු බලපත්‍ර ඡාවාරමක් වටලයි

March 29, 2017   12:17 pm

මරදාන ප්‍රදේශයේ කලක පටන් සිදුකරගෙන ගිය ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කරන ජාවාරමක් පිළිබද නාවික හමුදා බුද්ධි අංශය හා අද දෙරණ උකුස්සා තොරතුරු සොයා මෙහෙයුමක් ආරම්භ කරනු ලැබීය.

ඒ අනුව මූලික තොරතුරු අනාවරණය කරගත් උකුස්සා මෙම ජාවාරමේ තැරැව්කරුවෙකු පළමුව දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගනු ලැබුවා.

අනතුරුව ජාවාරම්කරු පැවසූ පරිදි උපාය දූතයෙකු සමඟ උකුස්සා කොළඹ පිටකොටුව ප්‍රදේශයට පැමිණ ජාවාරම්කරු මුණ ගැසුණු අතර ඉන් අනතුරුව ජාවාරම්කරු විසින් රුපියල් 5000ක අත්තිකාරම් මුදල අය කර ගනු ලැබුවේය.

අදාළ දිනයේදී ජාවාරම්කරු පැවසු අයුරින් දින දෙකකට පසුව ව්‍යාජ රියදුරු බලපත්‍රය ලබා ගැනීමට උකුස්සා පිටකොටුවේ අදාල ස්ථානය වෙත ගිය අතර ජාවාරම්කරු ත්‍රීරෝද රථයකින් උකුස්සා මරදාන ප්‍රදේශයේ ස්ථානයකට කැඳවා ගෙන ගියේ ය.

අනතුරුව මරදාන ප්‍රදේශයේදී කෙටි මාර්ගයක ගමන් කරන අතරතුර තවත් තැරැව්කරුවෙකු පැමිණ ව්‍යාජ බලපත්‍රය ලබාදෙන ආකාරය අපට දක්නට ලැබිණි.

මොවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වලාන දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් ද සම්බන්ධවු අතර අනතුරුව ජාවාරම්කරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැණුනි.

ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් අනුව තවත් අයෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවු අතර අදාළ ව්‍යාජ රියදුරු බලපත්‍ර මුද්‍රණය කරන තොරතුරු අනාවරණය කර ගැනීමටද හැකි විය.
 
ඒ අනුව උකුස්සා වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි ස්ථානයට ළඟා විය. 

එහිදී ව්‍යාජ බලපත්‍ර සකස් කරන අයුරු ජාවාරම්කරුවන් උකුස්සාට පෙන්වනු ලැබීය.

වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වුයේ මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෙකු විසින් රියදුරු බලපත්‍ර සකස් කිරීමට අවශ්‍ය කාඩ් සහ ස්ටිකර් ලබා දෙන බවයි.  

ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් 6 දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගනු ලැබුවේය.

කෙසේ වෙතත් ඉදිරියේදීත් මෙවැනි ජාවාරම් අනාවරණය කිරීමට අද දෙරණ උකුස්සා සීරුවෙන් සිටිනු ඇත.