යහපාලන කිරි කළයට ගොම බිංදු එකතු වෙනවා

යහපාලන කිරි කළයට ගොම බිංදු එකතු වෙනවා

March 28, 2017   05:09 pm

ආණ්ඩුවේ සමහර දේශපාලන නියෝජිතයින්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ සමාජයේ මෙන්ම දේශපාලන පක්ෂ තුළත් යම් අපහැදිලි තත්ත්වයක් ගොඩ නැඟී ඇති බවත් එනිසා යහපාලන කිරි කළයට දවසින් දවස ගොම බිංදු එකතු වීම ගැටළුවක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

රටේ තරුණ තරුණියන්ට බලපාන ප්‍රධාන ප්‍රශ්න 10 ක් සඳහා පිළිතුරු සොයන යෝජනාවලියක් අප්‍රේල් මස 2 වන දා ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (28) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ මාධ්‍ය හමුවට එක් වෙමින් ශාන්ත බණ්ඩාර මහතා මේ බව කියා සිටියේ ය.

ආණ්ඩුව ඉදිරියට ගෙන යෑමේ වගකීම ජනාධිපතිවරයාට පමණක් හිමි නොවන බවත් ඒ සඳහා ආණ්ඩු පක්ෂයේ සියලු දේශපාලන පක්ෂ මෙන්ම කැබිනට් අමාත්‍යවරුන් කැපවී සිටින බවත් ශාන්ත බණ්ඩාර මහතා වැඩි දුරටත් පැවසීය.

සමහර පිරිස් අතීතයේ විපක්ෂයේ සිටියදී ප්‍රකාශ කරන ලද කරුණු අද වන විට අමතක කර ඇති බවත් ආණ්ඩු පක්ෂය තුළ ද එම කරුණු ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු බවත් ශාන්ත බණ්ඩාර මහතා කියා සිටියේ ය.